ඊශ්‍රායල් යන ශ්‍රමිකයින්ගෙන් අයකල ගුවන් ටිකට්පත් ගාස්තු අඩුකරයි

ඊශ්‍රායල් යන ශ්‍රමිකයින්ගෙන් අයකල ගුවන් ටිකට්පත් ගාස්තු අඩුකරයි

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වන ශ්‍රමිකයින්ගෙන් අයකරනු ලබන ගුවන්ටිකට්පත් ගාස්තුව ඉතා අධික යැයි පැමිණිලි ලැබිම හේතුවෙන් ඒ පිළිබඳව වහාම සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ආනන්ද ලාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් සාධනිය පියවර මත එම ගුවන් ටිකට්පතක මිල ඉතා විශාල ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වි තිබේ.

ඒ සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ආනන්ද ලාල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙලෙස අදහස් දැක්විය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ,

“ඊශ්‍රායල් හා කොරියානු රටවල රැකියා සඳහා යොමුවන පුද්ගලයින්ගේ ගුවන් ටිකට්පත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා ඒජන්සි ආයතනය හරහා මිළදී ගෙන රැකියා අපේක්ෂිතයින්ට ලබාදීමේ ක්‍රමවේදයක් මෙතෙක් කලක් පැවතුනේ.

එහි මිළ අධික බවට ‘සභාපතිට කියන්න’ වැඩසටහනටත්, මට පෞද්ගලිකවත් පැමිණිලි රැසක් ලැබුණා. පසුගිය කාලය පුරාම ගුවන් ටිකට්පත් මිළදී ගැනීම ටෙන්ඩර් ක්‍රමවේදයට සිදුකරලා තිබුණේ.

නමුත් එහි යම් අඩුපාඩු තිබෙන බව මට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. යම් තෝරාගත් කණ්ඩායමක් ඉලක්ක කරගෙන ඔවුනට පක්ෂපාතී අයුරින් මේ මිළදී ගැනීමේ ක්‍රියාවලිය සිදුකරලා තිබුණා.

මාස් පතා ඒ තෝරාගත් අයගෙන් ගුවන් ටිකට්පත් මිළදී ගනිමින් මූල්‍ය අලාභයක් ටිකට්පත් මිළදී ගන්නාට සිදුකරලා තිබුණා.

මේ සම්බන්ධව මම විදේශ රැකියා ඒජන්සි ආයතනයේ අලුතෙන් පත්වු සභාපතිවරයා සමග සාකච්ඡා කළාට පසු නවීන ක්‍රමවේදයන් අනුගමනය කරමින් ශ්‍රි ලංකන් එයාර් ලයින් ආයතනය මගින් ඍජුව ගුවන් ටිකට්පත් මිළදී අරගෙන විශාල වශයෙන් ගුවන් ටිකට්පතක මිළ අඩු කරගන්න හැකිවුණා. මේ අඩු කරගත්ත මුදල කෙලින්ම විගමණික ශ්‍රමිකයා අතට ලැබෙන්න සලස්වනවා.

සාමාන්‍යයෙන් මාසයකට ආසන්න කාලයකදී ගුවන් ටිකට්පත් 500ක් පමණ මිළදී ගෙන තියෙනවා. එක ටිකට් එකකින් රු.75000-90000 ක් වැඩියෙන් දිර්ඝ කාලයක සිට අයකරගෙන තිබෙන අතර ඒ අනුව මාසයකදි ගුවන් ටිකට් 500ක් මිළදී ගත් විට එය විශාල මුදලක් වෙනවා.

රට නව නායකත්වයක් යටතේ නව දිශානතියකට යොමුවන මේ අවස්ථාවේ විගමණික ශ්‍රමිකයාට ලබාදෙන සහන වැඩි කරන්න අපි කටයුතු කරනවා.

නොවැම්බර් මාසය දක්වා පැරණි ක්‍රමවේදය ඔස්සේ ටිකට්පත් වෙන්කර ගෙන තිබෙනවා. ඒ නිසා දෙසැම්බර් මාසයේ සිට මේ නව මිළදී ගැනීමේ ක්‍රමවේදය අපි ක්‍රියාත්මක කරනවා.

වඩා හොඳ ජනතාවාදී සේවාවන් සපයන ආයතන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය පත්කිරීම අපේ අරමුණයි. විශාල සේවයක් මේ ආයතන මගින් ජනතාවට ලබාදෙන්න පුළුවන්.

ඒ සේවාවන් හැකි උපරිම අයුරින් ඵලදායී අයුරින් ලබාදෙන්න අපි කටයුතු කරනවා. ” යනුවෙන් ප්‍රකාශ කළේය.