ඉරාන ජනපතිගේ අවසන් කටයුතු හෙට – ඉරානයට දින 5ක ශෝක කාලයක්

ඉරාන ජනපතිගේ අවසන් කටයුතු හෙට – ඉරානයට දින 5ක ශෝක කාලයක්

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහි ඇතුළු මියගිය පිරිසේ අවසන් කටයුතු හෙට (21) දිනයේ ටැබ්රිස් හිදී සිදුකිරීමට නියමිත බව ටෙහෙරාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

මෘත දේහයන් සියල්ල ඊට පෙර ටැබ්රිස් හි අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුව වෙත ගෙන යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, අනතුරින් ජීවිතක්ෂයට පත් ජනාධිපතිවරයා සහ ඔහු සමග ගමන්ගත් සෙසු පිරිස වෙනුවෙන් ඉරානයට දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉස්ලාමීය විප්ලවයේ නායක අයතොල්ලා අලි ඛමෙනී විසින් මෙම ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

හෙලිකොප්ටර් අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපතිගේ සහ අනෙක් පුද්ගලයින්ගේ සිරුරු අනතුරට ලක් වූ ප්‍රදේශයෙන් සොයාගත් බවයි, ඉරාන රතු කුරුස සංවිධානය නිවේදනය කළේ.

ඇතැම් සිරුරු පිළිස්සී ඇති බැවින් සිරුරු හඳුනාගැනීම දුෂ්කර වූ බව ඉරාන හමුදා නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

Share This