ලෝක ආදිවාසී දිනය අදයි

ලෝක ආදිවාසී දිනය අදයි

ලෝක ආදිවාසීන්ගේ දිනය අදට (09) යෙදී තිබේ.

ලෝක ආදිවාසි දින සැමරුමට සමගාමීව “ආදිවාසි සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳ තීරණ ගැනීමට ආදිවාසි තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනා ගැනීම” යන්න තේමාව කරගනිමින් රට පුරා ආදිවාසි ගම්මානවල ආදිවාසි නායකයන් හා ආදිවාසි පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ජාතික ආදි වාසී දින සැමරුම් උත්සවය අද (09) දඹාන, කොටබකිණිය ගම්මානයේදී පැවැත්වීමට නියමිතයි.

රාජ්‍ය අනුග්‍රහයෙන්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක අමත්‍යවරයාගේ හා රාජ්‍ය ආයතන රැසකගේ සහභාගිත්වයෙන් එම සැමරුම උදැසන 9.00 සිට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මූලික වශයෙන් ඊයේ (08) රාත්‍රියේ පැවැත්වූ වරිග සභාවේදී සාකච්ඡාවට බඳුන් කළ ආදිවාසි පරපුරේ ගැටලුවලට විසඳුම් ඉල්ලා සංදේශයක් සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක අමත්‍යවරයා වෙත උත්සව සභාවේදී භාරදීමට නියමිතව ඇත.

“රටේ අලුතින් පත්වෙන ජනාධිපතිවරයෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ආදිවාසි පරපුර වෙනුවෙන් පනවා ඇති නීතිරිති ලිහිල් කරලා පරපුර ඉදිරියට ආරක්ෂා කරන, ආදිවාසි පරම්පරාවේ අයවලුන්හට නිදහසේ ජීවත් වීමේ අවස්ථාව වාතාවරණය උදාකරදෙන කෙනෙක් වෙනවානම් හොඳයි කියන එකයි” යැයි ආදිවාසි නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්, දඹාන කොටබකිණිය ගම්මානයේදී මෙවර පැවැත්වෙන ලෝක ආදිවාසි දිනය සැමරුම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක් අතරතුර පැවසීය.

එහිදී ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් හා අලුතින් පත්වන ජනාධිපතිවරයා ගෙන් ආදිවාසි පරපුර අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ද අදහස් ප්‍රකාශ කෙරිණි.