ඉන්දියාවේ ගින්නෙන් මියගිය ගණන 27 දක්වා ඉහළට

ඉන්දියාවේ ගින්නෙන් මියගිය ගණන 27 දක්වා ඉහළට

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඊයේ (25) පස්වරුවේ ඇතිවූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස් අතර ළමුන් 12දෙනෙකු පමණ සිටින අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ගින්න ඇතිවන අවස්ථාවේ විශාල පිරිසක් එම මධ්‍යස්ථානය තුළ පරිගණක ක්‍රීඩා ඇතුළු විවිධ විනෝදාත්මක ක්‍රීඩාවල නිරත වෙමින් සිට ඇත.

ඇතැම් මළ සිරුරු සම්පූර්ණයෙන්ම පිළිස්සී ගොස් ඇති බැවින් ඔවුන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම දුෂ්කර වී ඇතැයි ඉන්දීය බලධාරීන් වාර්තා කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සිය ශෝකය පළ කර ඇති අතර, විපතට පත් වූවන්ට ආධාර සැපයීමට කටයුතු කරන බවද එහි දක්වා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ පංච පුද්ගල කමිටුවක් ද පත්කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති, බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේවෙතත්, ගින්න සම්බන්ධයෙන් අදාළ මධ්‍යස්ථාන හිමිකරුවන් මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇතැයි එරට ආරක්ෂක අංශ ඊයේ නිවේදනය කළේය.

 

 

Share This