
තවත් රතු වරෙන්තුකරුවන් දෙදෙනකු ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන එයි
වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන, මුදල් වංචා සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි, ඉන්දීය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබූ තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (20) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.
මෙලෙස රැගෙනවිත් තිබුණේ, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රත්නායක වීරකෝන් අරෝෂන් මධුසංඛ සහ මොරටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි නැමැති දෙදෙනායි.
මොවුන් දෙදෙනා අද අලුයම 01.40ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සදහා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබුණි.
මොවුන් දෙදෙනා සමග ඉන්දීය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් පලායාමට අනුබල දුන් රවිඳු සන්දීප ගුණසේකර නමැති පොලිස් කොස්තාපල්වරයා ද ඊයේ (19) මෙරටට රැගෙන එනු ලැබීය.
ඊට අමතරව නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි අමිල චන්ද්‍රානන්ද නැමැත්තා ද ඊයේ ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ අතර ඔහුට එරෙහිව 2015 වසරේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, 2018 වසරේ පුද්ගලයෙකු මන්නා පිහියකින් කපා තුවාල කිරීම, නීති විරෝධි ගිනි අවි ලග තබා ගැනීම සහ ජීව උණ්ඩ ලග තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් පවතී.