77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි

77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි

77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබේ.

“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පැවැත්වෙන 77 වැනි ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වේ.

මෙවර නිදහස උලෙළ උත්කර්ෂවත්ව හා වියදම් අඩු කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

එමෙන්ම පැවති නිදහස් උත්සවවලට සාපේක්ෂව මෙවර මහජනතාව වැඩියෙන් සහභාගි කරවා ගැනීමට ද රජය සැලසුම් කර තිබේ.

නිදහස් දින සැමරුම් පෙළපාළියේ සංයුතියද මෙවර වෙනසකට භාජන කර ඇති අතර මින් පෙර යෙදාගත් හමුදා සංයුතිය 40%කින් අඩු කර තිබෙන බව සඳහන්.

ඒ අනුව, මෙවර නිදහස් දින සැමරුම් උත්සවය සඳහා සහභාගී වන හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 1,511කින් අඩුකර ඇති අතර, මෙවර සහභාගීවන්නේ සාමාජිකයින් 1,873ක් පමණයි.

එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගැනීමට තීරණය කර ඇති අතර නාවික හමුදාව විසින් පවත්වන සාම්ප්‍රදායික වෙඩිමුර 25 මෙවරද පවත්වනු ලබයි.

ගියවර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා තුනක් පමණක් යොදා ගැනීමට ද සැලසුම් කර තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, අද දින ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1,000කට අධික පිරිසක් යොදවා ඇති බවයි.

මේ අතර පසුගිය 1 වනදා සිට 7 වනදා දක්වා වූ කාලය තුළ සියලු‍ රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ඔසවා තබන ලෙස දැනුම් දී ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කියා සිටියේය.

එමෙන්ම, රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් අලංකාරවත් කරන ලෙස මීට පෙර කර තිබූ දැනුම්දීම අවලංගු කර තිබුණි.