ශ්‍රී ලංකාව පළමු වටයෙන් ම ඉවතට –  ICCයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව පළමු වටයෙන් ම ඉවතට – ICCයෙන් නිවේදනයක්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන් ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමට තිබූ අවසන් බලාපොරොත්තුව ද සුන් වූයේ ඊයේ (13) බංග්ලාදේශ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගය බංග්ලාදේශය ලකුණු 25 කින් ජය ගැනීමත් සමගය.

ඊයේ පැවති තරඟයේ දී බංග්ලාදේශයේ ලකුණු 160ක ජයග්‍රාහි ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි නෙදර්ලන්තයට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 134ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු වටයේ මේ වන විට සහභාගි වූ තරග තුනෙන් දෙකක් ම පරාජය වූ අතර, එක් තරගයක් වර්ෂාව නිසා අතහැර දැමුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ තවත් එක් තරගයකට පමණක් මුහුණ දීමට සිදුවන අතර ඒ නෙදර්ලන්තයට එරෙහිවය.

නමුත් එම තරගය කුමන අයුරකින් ජයග්‍රහණය කළ ද ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන මේ වන විට අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක මූලික වටයෙන් ඉවත් වූ පළමු අවස්ථාව මෙය වෙයි.

ඒ අතර ශ්‍රී ලංකාව වසර 10කින් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා නොමැත.

Share This