රටක ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමක් නැතිව ICC යට රටක ක්‍රිකට් තහනම් කරන්න බැරි බව ICCය කියයි!

රටක ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමක් නැතිව ICC යට රටක ක්‍රිකට් තහනම් කරන්න බැරි බව ICCය කියයි!

ICC මණ්ඩලයට සාමාජික රටක ක්‍රිකට් තහනමක් සම්බන්ධ ක්‍රියාමාර්ගයක් ගත හැක්කේ එම රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල පැමිණිල්ලක් මත පදනම්ව පමණක් බව ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය උපුටා දක්වමින් ලොව දෙවැනි ප්‍රධානම ක්‍රිකට් වෙබ් අඩවියවන Cricbuzz වෙබ් අඩවිය වාර්තා කරයි.

Cricbuzz වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ICC ඉහළම පෙළේ නිලධාරියෙක් පෙන්වා දී ඇත්තේ අදාල සාමාජිකයාගේ පැමිණිල්ලක් නොමැතිව රටක ක්‍රිකට් අත්හිටුවීමට ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය මැදිහත්වන්නේ නැති බවය.

Cricbuzz යනු Cricinfo ට පසු ලෝකයේ දෙවන විශාලතම ක්‍රිකට් වෙබ් අඩවියය. එම වෙබ් අඩවිය Times of India සමූහයට අයත්ය. Times of India යනු එක්කෝටි තිස් ලක්ෂයක ප්‍රඨක ප්‍රජාවක් සහිත, දිනකට පිටපත් ලක්ෂ හතලියක් අලෙවි වන ඉන්දියාවේ වැඩිපුරම කියවන ඉංග්‍රීසි පුවත්පත මෙන්ම ලොව වැඩිපුරම අලෙවියක් ඇති පුවත්පත්වලින් එකකි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනමේ ඇතුළු පැත්ත අනාවරණය කරමින් ඉන්දීය ක්‍රිකට් මාධ්‍යවේදී විජේ තාගෝර් විසින් Cricbuzz වෙත ලියන ලද ලිපියකින් අනාවරණය කරන්නේ දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලයට, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට සහ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලයට රජය මැදිහත් වූ අවස්ථා වලදී ICC ය එම රටවල සාමාජිකත්වය අත්හිටුවිමේ ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණේ එම රටවල පැවති ක්‍රිකකට් පාලක මණ්ඩල රටේ ක්‍රිකට් තහනමක් වැනි ආන්තික තීන්දුවක් ගන්නා ලෙස අයි.සී.සී.ය වෙත ඉල්ලීම් නොකළ නිසා බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් නොවැම්බර් 6 සහ 7 දින ලිපි දෙකක් ලියා තිබුණත් නොවැම්බර් 09 ලියූ ලිපිය ක්‍රිකට් තහනමට ප්‍රමුඛ සාධකය වී ඇති බව Cricbuzz වෙබ් අඩවිය පෙන්වා දෙයි.

එම ලිපියෙන් ෂම්මි සිල්වා දක්වා ඇත්තේ, “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා ICC හි හදිසි මැදිහත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අපේක්ෂා කරන බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ ආරක්ෂාව සහතික කිරීම සඳහාත්, ICC විසින් තහවුරු කරන ලද පුළුල් මූලධර්මය සහ ක්‍රිකට් පරිපාලනයේ මූලධර්ම ආරක්ෂා කිරීමට මෙන්ම රටේ ක්‍රීඩාවේ කීර්තිය ආරක්ෂා කිරීම සඳහාත් අයි.සී.සී.යේ කඩිනම් අවධානය සහ ක්‍රියාමාර්ග ඉතා වැදගත් බවත් ඔහු එම ලිපියෙන් අවධාරණය කර ඇත.

එම ලිපියෙන් ශම්මි සිල්වා ICC ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටිමින් දැඩි ලෙස කියා ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධිපත්‍යය ව්‍යසනයට ලක්කරමින් රටේ පාර්ලිමේන්තුව විවාදයක යෙදී සිටින බවත් එය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් සංවිධානය කර ඇති බවත්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරී පත් වූ සාමාජිකයින්ගේ නිවෙස්වලට සහ පවුල්වලට තර්ජනයක් එල්ල කරන බවට ෂම්මි සිල්වාගේ ප්‍රකාශය ICC විශේෂ අවධානයට යොමු වී ඇත.

එමෙන්ම ඇමැතිවරයා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නොවන අරමුණු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසින් ප්‍රකාශ කිරීම ද ICCය අවධාරණාත්මකව සලකා තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා ඇතුළු පාලක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින්ට පිටපත් සමඟින් ICC හි සභාපති Greg Barclay වෙත එම තීරණාත්මක ලිපිය යොමු කිරීමෙන් පසු ඉන් පෙර ලියූ ලිපි දෙකත් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ ICC හි පිළිගත් ව්‍යුයහ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණඩලයේ සභාපති ෂම්මි සිල්වාගේ පැමිණිලිවල බරපතලකම තක්සේරු කර ICCය විසින් මෙම ක්‍රිකට් තහනම සිදුකර ඇති බව Cricbuzz වාර්තා කරයි.

Share This