ශ්‍රී ලංකාවේ දුප්පත්කම දෙගුණ වෙලා – ඒක එහෙම නෑ කියල ලෝකෙට පෙන්නන්න හදනවා – හියුමන් රයිට්ස් වොච්
ජාත්‍යන්තර හවුල්කාර පාර්ශ්ව වලට ආර්ථික ප්‍රතිසංස්කරණ හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි පෙන්වීමට ශ්‍රී ලංකා රජය උත්සාහ දරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා විසින් නිකුත් කර ඇති ආසන්නතම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ මූලික නිදහසට තවදුරටත් තර්ජන ඇතැයි, පෙන්වාදී ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ වාර්තාව උපුටා දක්වමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ 2022 වසරේදී ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව දෙගුණවී ඇති බවයි.
මේ වනවිට ජන ගහණයෙන් තුනෙන් එකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව, එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලින් පෙන්වාදී ඇති බවද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විමර්ශනයටත් සාක්ෂි රැස්කිරීමටත් විවිධ ක්‍රම හරහා ඇතිවන බාධා කිරීම් විමර්ශනයට ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම සඳහා දැනට ඇති යෝජනාව යාවත්කාලීන කළ යුතු බවටත් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා සිය වාර්තාවෙන් කවුන්සිලයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කර තිබිණි.
හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ, සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළග සැසියේදී පවතින යෝජනාව යාවත්කාලීන කිරීමට අමතරව තවත් කරුණු ඇතුළත්කර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ආ යුුතු බවයි.