HIV ආසාදිතයින් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළට – නිවසේ සිටම HIV පරීක්ෂාවක් කර ගන්න ඇප් එකක්

HIV ආසාදිතයින් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළට – නිවසේ සිටම HIV පරීක්ෂාවක් කර ගන්න ඇප් එකක්

ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ දී, HIV ආසාදිතයින් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසනවා.

මෙම වසර අවසන් වන විට ලංකාවේ සමස්ත HIV ආසාදිතයන් සංඛ්‍යාව 4,100ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව පවසන වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම අවුරුද්දේ ජනවාරි මස 1 වැනි දා සිට සැප්තැම්බර් අවසන් වන විට නව HIV ආසාදිතයින් 485ක් හඳුනාගෙන ඇති බවයි.

ඒ බව සඳහන් කළ ඇය වැඩිදුරටත් පවසන්නේ, “මේක සාපේක්ෂව ගිය වසරත් එක්ක සලකා බලද්දි වැඩිවීමක් විදියට තමා අපි දකින්නේ. HIV පරීක්ෂාව වැඩිපුර රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන සමග එකතුවෙලා වැඩිපුර කරනවා.

ඒ වගේම තමා මේ අතරින් 80%ක්ම වාර්තා වෙන්නේ පිරිමි අය අතරේ. අවුරුදු 15 – 49ත් අතර තමා වැඩිපුරම HIV ආසාදනය වැඩිවෙන්නේ.” යනුවෙන්.

තව ද දෙසැම්බර් පළමු වැනි දා ට යෙදෙන, ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ද වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසනවා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ, “වැඩිපුර ම වැඩසටහන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව කරන්නේ, වැඩිපුර ම අවදානම් කණ්ඩායම් එම ප්‍රදේශ දෙකේ ඉන්න නිසා. ‘ප්‍රජාව බලගන්නමු – ඒඩ්ස් වළකමු!’ කියන තේමාව යටතේ දෙන විශේෂම පණිවුඩය තමා, HIV පරීක්ෂාවක් කරගෙන තමන්ගේ තත්ත්වය හඳුනාගන්න.

ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුයුක්ත දිවයින පුරා තියෙන ජාතික ලිංගාශ්‍රිත රෝග සායන 40ක් තියෙනවා. Know4Sure https://aidscontrol.gov.lk කියන ඇප්එක පාවිච්චි කරලා ගෙදරටම HIV පරීක්ෂාවක් කරගන්න ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා.” ලෙසයි.