ස්පා වල ශ්‍රමය සැපයූ කාන්තාවන් පිරිසකට HIV – සම්බාහන මධ්‍යස්ථාන 53කුත් වසා දැමේ

ස්පා වල ශ්‍රමය සැපයූ කාන්තාවන් පිරිසකට HIV – සම්බාහන මධ්‍යස්ථාන 53කුත් වසා දැමේ

මීගමුව කොච්චිකඩේ සහ සීදුව පොලිස්වසම් වල සම්බාහන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාස වල ලිංගික ශ්‍රමය දුන් කාන්තාවන් පිරිසකට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව එම කලාපය තුළ ඇති සම්බාහන මධ්‍යස්ථාන 53ක් වසා දැමීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (27) මාධ්‍ය හමුවේ දී පැවසීය.

වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ කාන්තාවන් අතරින් දෙදෙනෙකුට දැනට එච්.අයි.වී ඒඩ්ස් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවත්, එම කාන්තාවන්ගෙන් සේවය ලබා ගත් පිරිස් හඳුනා ගැනීමට විශේෂ අවධානයකින් කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“පසුගිය දින කිහිපය තුළ මීගමුව, කොච්චිකඩේ සහ සීදූව කියන පොලිස් වසම්වල විශේෂ වැටලීමක් සිදුකරා.

ඒවා නීතිවිරෝධී ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන බවට බුද්ධි තොරතුරු වාර්තා වී තිබුණා.

ගණිකා නිවාස පවත්වාගෙන යාම, ගණිකාවන් ලෙස පුද්ගලයින් සේවයේ යෙදවීම ඒවායේ රැඳී සිටීම, එම ස්ථානය කළමනාකරණය කිරීම යන චෝදනා යටතේ පිරිසක් අත්අඩංගුවට ගත්තා.

එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලැබුවා.”

මෙලෙස පවත්වාගෙන ගිය ස්පා 53කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් වසා දැමීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා.

මෙහිදී සැකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 08 දෙනෙක් කාන්තාවන් 137ක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණා.

වෛද්‍ය පරීක්ෂණයට යොමුකළ කාන්තාවන් අතරින් දෙදෙනෙකුට HIV ඒඩ්ස් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. අදාළ අංශවලට දැනුම්දීමක් කරලා තියෙනවා.

අදාළ කාන්තාවන් ගණිකා සේවය ලබාදුන් පුද්ගලයින් හඳුනාගැනීමට කටයුතු කරමින් තිබෙනවා.

ඇතැම් අය පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යන මුවාවෙන් ඒවා ලියාපදිංචි කරලා මෙවැනි ස්ථාන පවත්වාගෙන යනවා.

ඉදිරියේදී ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන සැකකටයුතු ස්ථාන විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට බලාපොරොත්තුවනවා.”

Share This