හබරණ ගිනිගත් කැබ් රියක පුද්ගලයෙකුගේ මළ සිරුරක්
හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර කිලෝමීටර් 38 කණුව අසල ගිනිගත් කැබ්රථයක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය පවසයි.
හබරණ මින්නේරිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් කැබ් රථයක් ගිනි ගන්නා බවට මින්නේරිය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ගිනි ගනිමින් තිබෙන මෙම කැබ් රථය මින්නේරිය පොලීසිය විසින් සොයා ගෙන ඇති බවයි, පොලීසිය පවසන්නේ.
ඊයේ (25) රාත්‍රී 10 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති බවත් ගිනි ගන්නා අවස්ථාවේදී කැබ් රථය හබරණ දෙසට මුහුණලා නතර කොට තිබී ඇති බවත් එහි වෙනත් කිසිදු පුද්ගලයෙකු සිට නොමැති බවත් මින්නේරිය පොලීසිය පවසයි.
පුද්ගලයෙකු ඝාතනය කොට ඔහුගේ සිරුර කැබ් රථය තුල දමා පිලිස්සීම සඳහා කැබ් රථය මෙම ප්‍රදේශයට ගෙනවිත් ඊට ගිනි තැබීමට කටයුතු කරේද යන්න පොලීසිය සැකකරයි.
මින්නේරිය පොලීසිය හා පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කර තිබේ.
මෙම ගිනි ගැනීමට ලක්වූ කැබ් රථය කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් කැබ් රථයක් බවට පොලිසිය විසින් සොයා ගෙන ඇත.
පිලිස්සීමට ලක්ව මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් සොයා ගෙන නොමැති බවත්, රජයේ රස පරීක්ෂක සහ මහේස්ත්‍රාත්වරයා මෙන්ම නිලධාරීන් සම්බන්ධ කරගනිමින් පරීක්ෂණ සිදු කරන බවත්, මෙය ඝාතනයක් ද නැද්ද යන්න පරීක්ෂණවලින් අනතුරුව තහවුරු කර ගැනීමට හැකිවන බව, මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතා පැවසීය.
පිලිස්ස්සී මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය හා කැබ් රථය ගිනිගැනීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් 26 වෙනිදා සිදු කිරීමට නියමිත අතර මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබයි.