මදසරුභාවයට ප්‍රතිකාර කරන රෝහල් සහ සියලු සෞඛ්‍ය ආයතන වෙත මාර්ගෝපදේශන මාලාවක්

මදසරුභාවයට ප්‍රතිකාර කරන රෝහල් සහ සියලු සෞඛ්‍ය ආයතන වෙත මාර්ගෝපදේශන මාලාවක්

නල දරු තාක්ෂණය සහ අනෙකුත් වෛද්‍ය විද්‍යාත්මක මදසරුභාවය සදහා ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහා වන මාර්ගෝපදේශන මාලාව පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිළිගැන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

මෙම මාර්ගෝපදේශන මාලාව මදසරුභාවය සදහා ප්‍රතිකාර කරන රෝහල් සහ අනෙකුත් සියලුම සෞඛ්‍ය ආයතන මගින් අනුගමනය කළ යුතු වන අතර, මෙමගින් ප්‍රතිකාර සදහා යොමුවන රෝගීන් සඳහා වඩා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීමට අදහස් කෙරේ.

මෙම මාර්ගෝපදේශන මාලාව අනුගමනය කරන ආයතන, රෝගීන්ට සත්‍ය තොරතුරු සැපයීම, වෛද්‍ය ආචාර ධර්ම අනුගමනය කිරීම, ආරක්ෂිත ප්‍රතිකාර ක්‍රම භාවිතා කිරීම, ඇතිවන අතුරු ආබාධ වාර්තා කිරීම සහ ඒ සඳහා පිළියම් කිරීම වැනි කටයුතු ඉටු කිරීමට බැඳී සිටිය යුතු වේ.

බොහෝ බටහිර සහ ආසියාතික රටවල මදසරුභාවය සදහා ප්‍රතිකාර කරන රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන නියාමනය කිරීමට ආයතන පිහිටුවා ඇතත් මෙවැනි ආයතනයක් පිහිටුවා නොමැති මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙවැනි මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට කටයුතු කිරීම ඉතා යෝග්‍ය වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග, කොළඹ වෛද්‍ය පීඨයේ ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය (ප්‍රසව හා නාරිවේද) අතුල කළුආරච්චි, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සනත් අක්මීමන, මදසරුභාවය පිළිබද විශේෂඥ වෛද්‍ය මිල්හාන් බචා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද හුණූකුඹුර, පවුල් සෞඛ්‍ය කාර්යාංශය ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ලොෂාන් මුණසිංහ යන මහත්වරුන් එක්ව සිටියහ.