ග්‍රාම නිලධාරීන් දින 4ක් රාජකාරීවලින් ඉවතට

ග්‍රාම නිලධාරීන් දින 4ක් රාජකාරීවලින් ඉවතට

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අද (27) සිට 30 වැනි දින දක්වා දින 04 ක් සියලුම රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.

වසර 61 ක ග්‍රාම නිලධාරී සේවා ඉතිහාසයේ මෙසේ සියලුම රාජකාරිවලින් ඉවත්වන පළමු අවස්ථාව මෙය බවත් ග්‍රාමනිලධාරි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

ඒ අනුව, ලබන 30 වැනිදා පස්වරුවේ වෘත්තීය සමිති සන්ධානයේ සිටින වෘත්තීය සමිති නියෝජිතයන් රැස් වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගැනීමට කටයුතු කරන බවද එම සන්ධානයේ සමකැඳවුම්කරු අයි. ජී. නෙත්තිකුමාර මහතා සඳහන් කළේය.

මීට පෙර වැඩ වර්ජන සිදුවී තිබුණත් ආපදා තත්ත්වයන්ට අදාළ කටයුතු ඇතුළු රාජකාරි කිහිපයක් සිදුකර තිබෙන බවත්, පවතින ගැටලු විසඳීම ප්‍රමාද කරමින් තිබෙන නිසා සියලුම රාජකාරිවලින් ඉවත්වන බවත් හෙතෙම පවසා සිටියේය.

ග්‍රාම නිලධාරී සේවාවට අදාළව පවතින දීමනා ගැටලු විසඳන ලෙසත් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවලට අනුව සේවා ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස හා නිලධාරීන්ගේ තනි කැමැත්තට සකස් කර තිබෙන සේවා ව්‍යවස්ථාව ඉවත් කරන ලෙසත් ඉල්ලා මෙම ක්‍රියා මාර්ගය සිදුකරන බවද ඒ මහතා පැවසීය.

Share This