රාජ්‍ය සේවයට අලුතින් 30,000ක් බඳවා ගන්න කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයට අලුතින් 30,000ක් බඳවා ගන්න කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව දේශපාලන බලපෑම් වලින් තොරව කුසලතා සහ සුදුසුකම් මත පමණක් පදනම්ව රාජ්‍ය අංශය සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට රජය තීරණය කර ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් මෑතකාලීන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් සහ තරුණ තරුණියන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබීමත් පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයත් සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා මෙම බඳවා ගැනීම සිදුවනු ඇත.

ඒ සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ.

එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව මේ වන විට රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් 18,853ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව එකී බඳවා ගැනීම් සඳහා නියමිත බඳවා ගැනීම් පටිපාටි වලට අනුකූලව අයදුම්පත් කැඳවා එකී බඳවා ගැනීම් සිදු කිරීම අදාළ අමාත්‍යංශ විසින් කඩිනමින් පියවර ගත යුතු බවත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.