රාජ්‍ය සේවයේ මූලික වැටුප රු. 25000කින් වැඩිකරන්නැයි ඉල්ලයි

රාජ්‍ය සේවයේ මූලික වැටුප රු. 25000කින් වැඩිකරන්නැයි ඉල්ලයි

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් 25000 ක දීමනාව සමස්ථ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවාවන්ගේ සියලුම නිලධාරීන්ට ශ්‍රේණි භේදයකින් තොරව ලබා දෙන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළ බවත් එහෙත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ දමා නොමැති බවද එම සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහකළ බවත් එහෙත් සාකච්ඡාවක් ලබා දීමටවත් බලධාරීන් කටයුතු නොකළ බවද හෙතෙම පැවසීය.

මේ නිසා වැටුප් වැඩිවීමක් ඉල්ලා අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙන බවත් මේ අනුව අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම දින දෙක තුළදී සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, තැපැල් සේවකයන් හා කාර්යාල කාර්ය සහායක සේවාවල පිරිස් සේවයෙන් ඉවත්වන බවද ඔහු සඳහන් කළේය.

Share This