කල්පිටිය තෝරයඩි කලපුවෙන් හමුවූ කිලෝ 4කට අධික රත්‍රං

කල්පිටිය තෝරයඩි කලපුවෙන් හමුවූ කිලෝ 4කට අධික රත්‍රං

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, තෝරයඩි කලපුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රත්‍රං කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 740ක් අඩංගු පාර්සලයක් සොයාගෙන තිබේ.

මෙම රත්‍රං තොගය ජාවාරම් කිරීමට යොදාගත් බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් තෝරයාඩි වෙරළ ආසන්නයේ තිබී අත්අඩංගුවට ගැනීමට ද මෙහෙයුමේදී කටයුතු කර තිබේ.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා විජය නාවික නෞකාව විසින් සිදුකරන ලද මෙම මෙහෙයුම, මුහුදු මාර්ග ඔස්සේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා නාවික හමුදාවේ සාමාන්‍ය ප්‍රයත්නයේ එක් අංගයකි.

ජාවාරම්කරුවන් විසින් රත්‍රං පාර්සලය පසුව එය ලබා ගැනීමට, සිතාමතාම කලපුවේ ගිල්වා දමන්නට ඇතැයි නාවික අංශ විශ්වාස කෙරේ.

ඒ අනුව සොයාගත් රත්‍රං සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.