GMOA වෙතින් රජයට අනතුරු ඇඟවීමක්

GMOA වෙතින් රජයට අනතුරු ඇඟවීමක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය පළ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය පද්ධතිය තුළ සහ ඉන් පරිබාහිර පාර්ශ්වයන්ගේ මැදිහත් වීමෙන් වෛද්‍යවරුන් පීඩාවට සහ අධෛර්යයට පත් කිරීමේ අරමුණින් අඛණ්ඩව ක්‍රියාත්මක වන පටු න්‍යායය පත්‍ර සහ වැඩපිළිවෙළ වැළැක්වීමට දේශපාලන නායකත්වය, සෞඛ්‍ය බලධාරීන් ඇතුළු වගකිවයුත්තන් සාධනීය මැදිහත් වීම් නොකිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ.

වෘත්තීය සමිති නායකයින්ට මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමට ආයතන සංග්‍රහය තුළ අඩංගු නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ඉතිහාසය පුරාම මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගැටලු සහ විෂමාචාර පිළිබඳව ජනතාව ඇතුළු පාර්ශ්ව දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබෙන බව එම නිවේදනයේ දැක්වෙනවා.

වැරදිකරුවන්ට දඬුවම් කිරීම පසෙකලා වංචා, දූෂණ සහ වැරදි පිළිබඳ ව තොරතුරු සපයන්නන් නිහඬ කිරීම ඉලක්ක කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳ ව ජනතාවට තොරතුරු හෙළි කරන වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව පිළිගත නොහැකි ලෙස අසාධාරණය සහ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතින බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ.

එබැවින් අසාධාරණ සහ පක්ෂග්‍රාහී විනය ක්‍රියාමාර්ග ගැනීම නවත්තන්නේ නැත්නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරියේ දී මීට වඩා තීව්‍ර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ගැනීමට යොමු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.