ගාසා තීරයේ සෑම දිනකම පැය 04ක සටන් විරාමයක්

ගාසා තීරයේ සෑම දිනකම පැය 04ක සටන් විරාමයක්

උතුරු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට, ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින්, සෑම දිනකම පැය 4 ක්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමෙන් වැලැකී සිටින බව ඊශ්‍රායලය පවසා තිබේ.

ඊශ්‍රායලය මේ සඳහා එකඟ වී ඇත්තේ ඇමෙරිකාව කළ ඉල්ලීමකට අනුව වන අතර මෙය ඉතා යහපත් ප්‍රතිඵලයක් බව අමෙරිකා ජනාධිපති ඩෝ බයිඩන් සදහන් කර ඇත.

පැය 4 ක් පහර නොදීමට එතඟ වුවත්, තමන් කිසිදු අවස්ථාවක, හමාස් සටන්කාමීන් සමඟ සටන් විරාමයකට නොයන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

මේ අතර, සටන් විරාමයක් ප්‍රතික්ෂේප කරමින්, ගාසා තීරයට දිගින් දිගටම පහර දෙන්නේ, ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය අඩපණ කිරීමේ අරමුණින් පමණක් බවත්, ගාසා තීරය අත්පත් කර ගැනීමේ අදහසක් ඊශ්‍රායලයට නොමැති බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.

“අප හමුදාව සාර්ථකව හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වදිනවා. වැඩි වාසි ඇත්තේ අප හමුදාවටයි. සටන් විරාමයකට යෑමට අවශ්‍යතාවක් හෝ ඕනෑකමක් නෑ. හමාස් සටන්කාමීන් පරාජය බාර ගනිමින් යටත් වන්නේ නම් පමණක් සටන් විරාමයක් ගැන සිතන්න පුළුවන්” යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, ඇමෙරිකාවේ ‘ෆොක්ස් නිවුස්’ පුවත් නාළිකාව සමඟ සම්මුණ සාකච්ඡාවකට එක් වෙමිනි.

හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායලය ගත් තීරණයට තමන් සහාය පළ කරන බව ඇමෙරිකාව දිගින් දිගටම පවසා තිබේ. මේ මොහොතේ ඊශ්‍රායලය සටන් විරාමයකට ගියහොත්, ප්‍රහාරවලින් පසුබෑමට ලක්වී සිටින හමාස් සටන්කාමීන් යළි ශක්තිමත් විය හැකි යැයි ඇමෙරිකාව ද ජාත්‍යන්තරයට පෙන්වා දී ඇත.

මේ වනවිට ගාසා තීරයේ ‘ගාසා නගරය’ වට කරමින් ඊශ්‍රායල හමුදා ඊට පහර දෙයි. ගාසා නගරයෙන් පලා ගිය පලස්තීන වැසියන් ගණණ 50,000 ඉක්මවා තිබේ.

Share This