ආහාර විස වී ඇගලුම් සේවක සේවිකාවන් 50ක් රෝහලට

ආහාර විස වී ඇගලුම් සේවක සේවිකාවන් 50ක් රෝහලට

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ මාස් ඇක්ටිව් ෂැඩෝලයින් ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 50 දෙනෙකු පමණ හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් මීගමුව මහ රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ.

අද (05) උදෑසන 09.00 පමණ කම්හල මගින් ලබා දුන් උදෑසන ආහාර අනුභව කිරීමෙන් පසුව ඔවුන් මෙලෙස රෝගාතුර වී ඇති බවයි, වාර්තා වන්නේ.

මෙම සේවක සේවිකාවන් පිරිස මීගමුව මහ රෝහලේ අංක 02 සහ අංක 03 වාට්ටු වල මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසු වේ.

ක්ලාන්තය, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණ මෙම රෝගී වූ සේවක සේවිකාවන් මගින් දිස් වන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් කටුනායක පොලිසිය, මීගමුව රෝහල් පොලිසිය, සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.