ගණේමුල්ල සංජීවගේ ඝාතකයා ගැන තොරතුරු රැසක් එළියට

ගණේමුල්ල සංජීවගේ ඝාතකයා ගැන තොරතුරු රැසක් එළියට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු යුද හමුදා කර්මාන්ඩෝ සෙබලෙක් හෝ බුද්ධි නිලධාරියෙන් නොවන බව වාර්තා වනවා.

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු මූලික පුහුණුවෙන් අනතුරුව යුධ හමුදාවෙන් පලා ගිය අයෙකු බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහු කමාන්ඩෝ සෙබලෙකු හෝ බුද්ධි නිළධාරියෙකු නොවන බවද සදහන්.

යුධ හමුදා ⁣පුහුණුව අතර තුර පලා ගිය අදාල සෙබලා පසුව පොදු සමා කාලය යටතේ යුධ හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පසුව ඔහු විවිධ අපරාධ වලට සම්බන්ධ වී ඇති බවද වාර්තා වනවා.

ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණ මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා පිළිබඳවද මේ වනවිට කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ වෙඩික්කරු ඉකුත් මස 7වනදා ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතතය කිරීමට පැමිණි වෙඩික්කරු බව පොලීසිය පවසනවා.

ඔහු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, පුත්තලම පාලවිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා නම් කිහිපයකින් පෙනී සිටි අයෙකු බවයි.

ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් තිබෙන බවත්, ඒ අතර නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන බවට සකසන ලද නීතිඥ හැඳුනුම්පතක් තිබෙන බවද පැවසුවා.

එමෙන්ම ඔහු පළමු අවස්ථාවේදී මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමින් පෙනීසිට ඇති අතර, පසුව සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනආරච්චි යන නම භාවිතාකර තිබෙනවා.

ඔහු ව්‍යාජ ලෙස සැකසූ නීතිඥ හැඳුනුම්පතක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නම එහි සඳහන්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට විසින් සිදුකරන බවයි.

ඒ අනුව, ඉදිරි විමර්ශනවලදී මෙම සැකකරු සම්බන්ධ සැබෑ තොරතුරු සහ ඔහුට ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සියලු දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බවද ඔහු කියා සිටියා.