ගලෙන්බිඳුණුවැව මුල්‍ය ආයතනයකින් ගනුදෙනුකරුවන්ට කෝටි 200ක පොල්ලක්

ගලෙන්බිඳුණුවැව මුල්‍ය ආයතනයකින් ගනුදෙනුකරුවන්ට කෝටි 200ක පොල්ලක්

ගලෙන්බිඳුණුවැව නගරයේ පිහිටි ගොඩනැඟිල්ලක මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි පොලියක් දෙන බව සඳහන් කරමින් මහජන තැන්පතු භාරගෙන එහි හිමිකරු රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කර කට්ටි පනිමින් සිටින බවට තැන්පත්කරුවන් පිරිසක් ගලෙන්බිඳුණුවැව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

තැන්පත්කරුවන් සියයක පමණ පිරිසක් විසින් තනි පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එම පැමිණිල්ලට අනුව රුපියල් කෝටි 200ක පමණ මුදලක් එම මූල්‍ය ආයතනය මඟින් වංචා කර ඇති බවත් සඳහන් වන බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොකළ මෙම මූල්‍ය ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව පදිංචිකරුවකු බව පොලිසිය කියයි. සියයට 05ක පොලියක් මාසයකට දෙන බව සඳහන් කරමින් තැන්පතු භාරගෙන තිබෙන බව පැවසේ.

මෙම මූල්‍ය ආයතනය වසර හතරක පමණ කාලයක් තිස්සේ නගරයේ ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන බවත් වැඩි පොලියක් දෙන බැවින් වැඩි පිරිසක් එහි මුදල් තැන්පත් කර තිබේ. තැන්පතු මුදල් වෙනුවට මාස්පතා පොලී මුදල් ද තැන්පත්කරුවන් විසින් ලබාගෙන තිබේ.

මෙය හුදෙක් පුද්ගලික ගනුදෙනුවක් බැවින් පැමිණිලිකරුවන්ට උපදෙස් ලබාදෙනු ලැබුවේ සිවිල් නඩුවක් එම මූල්‍ය ආයතනයේ හිමිකරුට පවරා මුදල් ලබා ගැනීමට අධිකරණය හරහා කටයුතු කරන ලෙස බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයක් නැතිව තැන්පතු භාර ගැනීම් සිදු කිරීමට නොහැකි බැවින් මෙම මූල්‍ය ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ද විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ද පොලිසිය පවසයි.

එම විමර්ශනයට අදාළව පොලිසිය පැත්තෙන් ලබාදිය හැකි සෑම සහායක්ම මේ වන විට ලබාදෙමින් ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් 150කට වැඩි පිරිසක් පෙරේදා (11) ගලෙන්බිඳුණුවැව නගරයේ රැස්වී උද්ඝෝෂණයක ද නිරත වී තිබිණි. ඒ අය එහිදී පවසන්නට වූයේ මාස 09ක් තිස්සේ තමන්ට මුදල් මෙන්ම පොලිය ද ලැබී නැති බවය.

ඔවුන් උද්ඝෝෂණය කරමින් බලධාරීන්ගේ අවධානයට යොමු කර ඇත්තේ තමන්ගේ තැන්පතු මුදල් නැවත ලබාදීමට කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය. මෙම විරෝධතාකරුවන් විරෝධතා පුවරු රැගෙන පාගමනක ද නිරතව ඇත.

උද්ඝෝෂණයට එක්වූ පිරිස ගලෙන්බිඳුණුවැව කැකිරාව මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කර පැය එකහමාරක කාලයක් උද්ඝෝෂණය පැවති අතර වාහන ගමනාගමනයට බාධාවක් නොවන පරිදි විකල්ප මාර්ගයන් ඔස්සේ රථ වාහන යැවීමට ගලෙන්බිඳුණුවැව පොලිස් නිලධාරීන් කටයුතු කර තිබිණි.

Share This