
ඥානසාර හිමිට ඇප
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් මාස 9ක ලිහිල් සිරදඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියම කළේය.
එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇපමත මුදාහන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.
ඒ අනුව, රුපියල් පන්දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් ඥානසාර හිමියන්ට නියම කර ඇත.
2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී “ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ.” යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනු කර තිබුණි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙම සිර දඬුවම ජනවාරි 9වෙනි නිකුත් කළ අතර ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව මෙසේ මහා අධිකරණයට ප්‍රතිශෝධන අයදුම් පත්‍රය ගොනුකොට තිබිණි.