එක් ඡන්ද දායකයෙක්ට වැය කළ හැකි උපරිම මුදල සඳහන් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

එක් ඡන්ද දායකයෙක්ට වැය කළ හැකි උපරිම මුදල සඳහන් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

2024 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙක් සඳහා වැය කළ හැකි උපරිම මුදල සඳහන් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව, එක් ඡන්ද දායකයෙකු සඳහා වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මේ අනුව, එක් අපේක්ෂකයකුට මෙවර ජනාධිපතිවරණයට අදාලව එලෙස වැයකළ හැකි උපරිම සමස්ත වියදම රුපියල් එකසිය අසූහය කෝටි අසූදෙලක්ෂ අනූඅට දහස් පන්සිය අසූහයක් (1,868,2,98,586.00 ) බව මැතිවරණ කොමිෂන් සභාව මෙම වියදම් නියම කිරීමට අදාලව අගෝස්තු 16 දාතමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම වියදමෙන් සියයට 60 ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නව ලක්ෂ හැත්තෑනව දහස් එකසිය පනස් එකයි ශත හැටක මුදලක් (1,120,9,79,151.60) අපේක්ෂකයාට තම ප්‍රචාරක වියදම් ලෙස දැරිය හැකි අතර සියයට 40 ක් හෙවත් රුපියල් හැත්තෑ හතර කෝටි හැත්තෑ තුන් ලක්ෂ දහනව දහස් නමසිය තිස් හතරයි ශත හතලිහක මුදලක් අපේක්ෂකයා නාම යෝජනා කළ දේශපාලන පක්ෂයට හෝ ඡන්ද හිමියාට වැයකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙම සියලු වියදම් පිළිබඳව ලේඛන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසු දින 21 ක් ඇතුළත අපේක්ෂකයා විසින් සහ ඔහු වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂය හෝ ඡන්ද හිමියා විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුව පවතී.

එසේ නොකිරීම හෝ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම 1981 අංක 15 දරණ ජනාධිපති තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ පනතේ සඳහන් දන්ඩනයන්ට යටත් වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.