මැතිවරණ කොමිසම පොලීසියත් එක්ක හදිසියේම තෙල් සංස්ථාවට පනී

මැතිවරණ කොමිසම පොලීසියත් එක්ක හදිසියේම තෙල් සංස්ථාවට පනී

ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබියදී දේශපාලන හිතවත්කම් මත ඉන්ධන පිරවුම්හල් දෙන බවට මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක් මත ඊයේ (08) මැතිවරණ කොමිසම පොලිසිය සමග ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ විමර්ශනයක් සිදුකර ඇත.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් හා පොලිස් නිලධාරින් තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමු වී මේ සම්බන්ධව ප්‍රකාශ ගෙන ලිපිගොනු පරීක්ෂාවක්ද කළ බවට සංස්ථා ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී ඇමැතිවරයා ඉන්ධන පිරවුම්හල් බෙදා දෙන බවටත් ප්‍රතිසංස්කරණයට මුවා වී සේවකයන්ගේ රැකියා කප්පාදුවක් කරන බවටත් ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධව මෙහිදී අවධානය යොමුකර ඇත.

හම්බන්තොටදී අලුතින් විවෘත කිරීමට සූදානම්වන ඉන්ධන පිරවුම්හලක් සම්බන්ධව මෙහිදී මූලිකව අවධානය යොමුකර තිබේ.

එම ඉන්ධන පිරවුම්හල සඳහා 2019 දී අනුමැතිය ලැබුණද එය ඉදිකර විවෘත කිරීමට සූදානම්කර ඇත්තේ මෑතකදී බව තෙල් සංස්ථා නිලධාරින් පෙන්වා දී ඇත.

මීට අමතරව ටෙන්ඩර් කැඳවා තෙල් සංස්ථාවට හා තරගකාරී පෞද්ගලික ආයතන වෙත ඉන්ධන පිරවුම්හල් ලබා දීමට මේ වන විට ක්‍රියාත්මක ක්‍රමවේදය සම්බන්ධවද අවධානය යොමුකර තිබේ.

එම ඉන්ධන පිරවුම්හල් දේශපාලන හිතවත්කම් මත දෙන බවටත්, මෙම ඉන්ධන පිරවුම්හල් ගැනීමට සූදානම් වන බහුතරයක් කළු සල්ලි සුදු සල්ලි කිරීමට යන ව්‍යාපාරිකයන් බවටත් වෘත්තීය සමිති චෝදනා කරති.

මෙම පැමිණිල්ල මත තෙල් සංස්ථාව වෙත දීමට යන පිරවුම්හල් නවතා පෞද්ගලික සමාගම්වලට පමණක් පිරවුම්හල් දැමීමට අවස්ථාව සැලසුනහොත් තෙල් සංස්ථාවේ ආදායම් තවත් පහළ යනු ඇතැයි එහි නිලධාරීහු පෙන්වා දී ඇත.