
ශ්‍රී ලංකාවේ අයවැය ගැන Fitch Ratings සතුටින්
ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින් දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කර තිබෙන බව Fitch Ratings පවසයි.
Fitch Ratings නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කිරීමට හැකි වන බවයි.
කෙසේ වෙතත්, මූල්‍ය දැක්ම සඳහා අවදානම් සැලකිය යුතු ලෙස පවතින අතර, මූල්‍ය ඒකාබද්ධතාවයේ වේගය මන්දගාමී කිරීමේ සැලසුම් මධ්‍ය කාලීනව ණය අඩු කිරීමේ අපේක්ෂාවන් මත බර තැබිය හැකි බවද සඳහන් වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 17දා ඉදිරිපත් කරන ලද සිය රජයේ පළමු අයවැය කතාවෙහි අයවැය යෝජනා බොහොමයක්, 2024 දෙසැම්බර් මාසයේ දී ෆිච් රේටිංග්ස් විසින් කරන ලද ඇගයීමේ උපකල්පන වලට අනුකූල බවයි ඔවුන් පවසන්නේ.
එම අවස්ථාවේ දී ෆිච් රේටිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ‘RD’ සිට ‘CCC+’ දක්වා ඉහළ නැංවීමට කටයුතු කළේය.
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් රාජ්‍ය ආදායම 2023 වසරේ පැවති 11.4% සිට 2025 වසරේ දී 15.1% ක් දක්වා ඉහළ නංවා ගැනීමට රජය ගෙන ඇති ඉලක්කය, ෆිච් රේටිංග්ස් විසින් 2026 වන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තබා ඇති ඉලක්ක ගත 15% සීමාව කලින්ම ඉක්මවා යාමකි.
අයවැයට ආනයන / අපනයන වෙළෙඳාම් හරහා ලැබෙන ආදායමේ 36.5%ක වැඩිවීමක් හා ආදායම් බදුවලින් ලැබෙන ආදායමේ 13.1% ක වැඩිවීමක් ඇතුළත් බව ෆිච් රේටිංග්ස් සඳහන් කරයි.