දුම්රිය එන්ජිමක ගින්නක් – මුහුදුබඩ දුම්රිය ධාවනයට බාධා

දුම්රිය එන්ජිමක ගින්නක් – මුහුදුබඩ දුම්රිය ධාවනයට බාධා

දකුණ කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක එන්ජිමේ අද (15) උදෑසන ගින්නක් හටගෙන තිබේ.

පෙරවරු 7.25 ට දකුණ කළුතර දුම්රිය ස්ථානයෙන් මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 326 දරණ දුම්රියේ පිටුපස එන්ජිමේ ගින්න හටගෙන තිබේ.

ගින්න නිවීම සඳහා කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ දෙකක් සහ ගිනි බටයින් අට දෙනෙකු පැමිණ තිබූ බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න විනාඩි තිහක පමණ කාලයකදී පාලනය කර තිබූ අතර, එම දුම්රිය අවලංගු කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබුණි.

ගින්නෙන් එන්ජිමට බරපතළ හානියක් සිදුව නොමැති අතර, මේ වන විට දුම්රිය දකුණු කළුතර දුම්රිය ස්ථානයේ නවතා තිබේ.