කාබනික පොහොර මෙට්‍රික් ටොන් 1000 ක් ගොඩගැසෙයි

කාබනික පොහොර මෙට්‍රික් ටොන් 1000 ක් ගොඩගැසෙයි

කසළ සම්පතක් කරගෙන කාබනික පොහොර නිපදවු රාජ්‍ය ආයතනයක් තුළ මේ වන විට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 1000 ක් ගොඩගැසී තිබෙන බව අනාවරණය වෙයි.

මේ බව අනාවරණය වූයේ පරිසර තිරසර සංවර්ධනය හා ස්වාභාවික සම්පත් පිළිබඳ වූ පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම වත්තල කෙළවරපිටිය කසළ කළමනාකරණ උද්‍යානය තුළ කළ නිරීක්ෂණ චාරිකාවකදීය.

මෙහිදී තම කාර්යභාරය පිළිබඳ පැහැදිලි කළ කෙළවරපිටිය කසළ කළමනාකරණ උද්‍යානයේ සභාපති ආචාර්ය නිමල ශාන්ත විජේරත්න.

“අප මෙම කසළ කළමනාකරණ උද්‍යානය ආරම්භ කෙරුවේ රට තුළ ජනනය වන සියලුම කසළ ශූන්‍ය කළ හැකි ව්‍යපෘති වැඩ සටහනක් ලෙසයි. මේ මගින් නිපදවූ කොම්පෝස්ට් පොහොර ටොන් 1000 පමණ මේ වනවිට තියෙනවා. ඒ වගේම තවත් කොම්පෝස්ට් පොහොර ටොන් 150000(එක් ලක්ෂ පනස් දහසක්) නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය අපිට තිබෙනවා. ප්‍රතිචක්‍රීයකරණය කරන්න බෑ කියන කසළ පවා අපි ගන්නවා.”

මේ සම්බන්ධයෙන් පරිසර තිරසර සංවර්ධනය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ වූ පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුමගෙන් අපි තොරතුරු විමසුවෙමු.

“ප්ලාස්ටික් වැනි නොදිරණ කසළ සල්ලිවලට අරගෙන මේ අය දැවි තෙල් පවා නිපදවනවා. ප්‍රතිචක්‍රීයකරණය කරන්න බෑ කියන අප ද්‍රව්‍ය පවා නිමැවුම් කරන්න මේ ආයතනය භාර ගන්නවා. අද මේ කසළවලින් විදුලිය ගෑස් පවා නිපදවන්න මේ ආයතනයට දැනුම හා තාක්ෂණය තියෙනවා. ඇත්තටම මේ තරම් දැනුමක් අවස්ථාවක් කසළ නැති කිරීමට අපට තිබියදී කසළ ජනතා ප්‍රශ්නයක් ලෙස තිබෙන එක ගැන කනගාටුයි.’’