මුහුණු පොතින් හඳුනාගත් ඇඟලුම් සේවිකාව රවටා දූෂණය කල කොස්තාපල් අත්අඩංගුවට

මුහුණු පොතින් හඳුනාගත් ඇඟලුම් සේවිකාව රවටා දූෂණය කල කොස්තාපල් අත්අඩංගුවට

මුහුණු පොතින් දැන හඳුනාගත් තරුණියක් රවටා හෝටල් කාමරයකට රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කළ වාලච්චේන පොලිසියේ සේවයේ නිරත කොස්තාපල්වරයකුව වැලිගම පොලිසිය පෙරේදා (08) සවස අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පොලිස් කොස්තාපල්වරයා නිවාඩු ලබා නිවෙසට පැමිණ සිටිය දී මෙම තරුණිය මුණගැසී මෙම අපරාධය සිදුකර ඇතැයි විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙසේ පොලිස් නිලධාරියා දූෂණයකර ඇත්තේ අවුරුදු 20ක් වයසැති වැලිගම පැණිදොඩම් වත්තේ පදිංචි ඇඟලුම් සේවිකාවක් බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරියා 23 හැවිරිදි වියේ පසුවන්නෙකි. දෙදෙනා මුහුණු පොතින් දැන හඳුනාගෙන තවමත් සති 02ක් ගතවී නැතැයි පොලිසිය කියයි.

මෙම නිලධාරියා වැලිගම කොක්මාදූවේ පදිංචිකරුවෙකි. නිවාඩු ලබා වැලිගම නිවසට පැමිණිමෙන් පසු මෙම නිලධාරියා මුහුණු පොතේ මෙම පෙම්වතියට ඇමතුමක් දී හමුවීමට අවශ්‍ය යැයි පවසා ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව ඔවුන් දෙදෙනාගේ පළමු හමුවීම සිදුව ඇත්තේ පෙරේදා (08) පෙරවරුවේදී වැලිගම ප්‍රදේශයේදී බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

පොලිස් නිලධාරියා ඇයව මුණ ගැසීමට ගොස් ඇත්තේ යතුරුපැදියක නැඟීය. අතුරු මාර්ගයක දෙදෙනා කතාබහක නිරතව සිටියදී එම ස්ථානයෙන් පොලිසිය ගමන් කර ඇති බවත් එහිදී පොලිස් නිලධාරියා ඇයව බියගන්වා ‍ඇයව හෝටලයකට රැගෙන ගොස් ඇත. දෙදෙනා හෝටලයේ ආලින්දයේ කතාබහක නිරතව සිටියදී පොලිස් නිලධාරියා ඇයව රවටා කාමරයට රැගෙන ගොස් දූෂණය කර ඇති බව විමර්ශනයේදී පෙනී ගිය බව වැලිගම පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

දූෂණයට ලක්වූ තරුණිය මේ ගැන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකාර පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගත් බවත් තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කෙළේය.

Share This