වයස අවුරුදු 104ක පුද්ගලයෙකුට සාර්ථක අක්ෂි කාච සැත්කමක්

වයස අවුරුදු 104ක පුද්ගලයෙකුට සාර්ථක අක්ෂි කාච සැත්කමක්

වයස අවුරුදු 104ක පුද්ගලයකුගේ ඇස් වලට කාච දැමීමේ සැත්කමක් පසුගියදා ගාල්ල පෞද්ගලික රෝහලක දී සාර්ථකව සිදුකර තිබෙනවා.

සැත්කම සිදුකළ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය පවසන්නේ, මෙය ඇය විසින් සිදුකරන ලද වයස්ගතම පුද්ගලයාගේ ශල්‍යකර්මය බවයි.

මෙම සුවිශේෂී සැත්කම සිදුකර ඇත්තේ පුංචිඅප්පු විතාන නමැති පුද්ගලයකුටය.

දිනපතා මෙන්ම සති අන්තයේ පුවත්පත් ද මිලදීගෙන අකුරක් නෑර කියවීමට හුරු වී සිටි ඔහුගේ, ප්‍රධානම විනෝදාංශය සාමාන්‍ය දැනීම පොත්පත් කියවීමයි. රූපවාහිනියෙන් රටතොට ප්‍රවෘත්ති දැන ගැනීමට ද, දාම් ක්‍රීඩාවේ යෙදීමට ද විතාන මහතා එකසේ ප්‍රිය කරන බවයි වාර්තා වන්නේ.

තමා මුහුණ දුන් සැත්කම සම්බන්ධව විතාන මහතා මෙසේ කීය.

“මම මේ මෑතක් වෙනකන්ම පොත්, පත්තර කියෙව්වා. දැනට අවුරුද්දක පමණ සිට මගේ ඇස් දෙකේම පෙනීම අඩු වුණා.

ඉතින් මට පොත් කියවන්න අමාරුයි. ඩොක්ටර් කිව්වා ඇහැට කාච දැම්මොත් පෙනීම ගන්න පුළුවන් කියලා. කාච දැම්මාට පස්සේ වෙනදාට වඩා හොඳට ඇස් පේනවා.

දැන් මට නැවත පොත් කියවන්න පුළුවන්. ඒ නිසා මම හරිම සතුටින් ඉන්නේ.” සැත්කම සිදුකළ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ලලිතා සෙනරත් මහත්මිය පවසන්නේ ඔහුගේ සැත්කම ඉතාමත් සාර්ථක වූ බවත්, මේ ශ්‍රී ලංකාවේ ඇස් කාච දැමීමේ සැත්කමක් සිදුකළ වයස්ගතම පුද්ගලයා විය යුතු බවත්, මීට පෙර මෙතරම් වයස්ගත පුද්ගලයකුට කාච දැමීමේ සැත්කමක් කළ බවට ශ්‍රී ලංකාව තුළින් ලිඛිත සාක්ෂියක් හමු වී නොමැති බවත් ය.