එක්ස්ප්‍රස් පර්ල් නඩුවට අගතියක් නොවන පරිදි ශ්‍රී ලංකාව‌ට අතුරු වන්දියක්

එක්ස්ප්‍රස් පර්ල් නඩුවට අගතියක් නොවන පරිදි ශ්‍රී ලංකාව‌ට අතුරු වන්දියක්

එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සම්බන්ධ නඩුවට අගතියක් නොවන පරිදි රක්ෂණ සමාගම අතුරු වන්දියක් ලෙස ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 291 ක් ලබාදීමට කැමැත්ත පළ කළ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් වු හානිය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන අට ලක්ෂ පනස් දහසක් ලබාදීමට අදාළව රක්ෂණ සමාගම දැනට කැමැත්ත පළ කර ඇති බවට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලැබුයේ අතපසුවීමකින් වන අතර, එම වන්දි මුදල ඇමෙරිකානු ඩොලර් අට ලක්ෂ හැත්තෑ අට දහසක් ලෙස නිවැරදි විය යුතු බව ද ඇමතිවරයා කියා සිටියේය.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඊයේ (26) අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පසුගිය සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුවේදී හදිසියේ අසන ලද අතුරු ප්‍රශ්නයක් හේතුවෙන් මෙම සංඛ්‍යා ලේඛණයන් පරස්පරව ප්‍රකාශවීමට හේතු වු බව ඔහු ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු ඩොලර් අට ලක්ෂ හැත්තෑ අට දහසක මුදල ආසන්න වශයෙන් මෙරට මුදලින් රුපියල් මිලියන 285ක් පමණ වන අතර, මීට අමතරව ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 16 ක් ගෙවීමට ද අදාළ රක්ෂණ සමාගම එකග වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ් අනුව නඩුකරය සිංගප්පුරු අධිකරණයේ පැවතියද නඩුවට අගතියක් නොවන පරිදි මෙම වන්දි මුදල ලබාදීමට රක්ෂණ සමාගම එකග වී ඇති බවත්, ඒ අනුව මෙම වන්දි මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 291 ක් පමණ වන බවත් විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

මෙම මුදල් එක්ස්ප්‍රස්පර්ල් නෞකාවේ ඇති වු ගින්නෙන් බලපෑමට ලක් වු ධීවර ප්‍රජාවට වන්දි වශයෙන් ගෙවීමට සහ සමුද්‍රිය පරීසර ආරක්ෂණ අධිකාරියට ලබාදීමට නියමිතව ඇත.

Share This