තත්පර 42න් ඉවරවෙන ඇල්ල ඔඩිසි ඊ ටිකට්

තත්පර 42න් ඉවරවෙන ඇල්ල ඔඩිසි ඊ ටිකට්

කොළඹ කොටුව, මහනුවර සහ ඇල්ල දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රවේශපත්‍ර මාෆියාව හේතුවෙන් විදේශිකයන් දැඩි අපහසුතාවයට පත්වීම මෙන්ම ඒ තුළින් රටේ කීර්ති නාමයට ද හානියක් සිදුවන බව මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ඊයේ (15) පැවැත්විණ.

එහිදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්පර 42ක් වැනි කාලයක් තුළදී ටිකට්පත් සියල්ල අලෙවි වී අවසන් වූ බවත් ඒ තුළ විශාල වංචාවක් සිදුවෙමින් පවතින බවත්ය.

මේ ආකාරයෙන් ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2,000ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයින්ට රුපියල් 16,000කට අළෙවි කළ අවස්ථා වාර්තා වන බවයි ඔහු පැවසුවේ.

දුම්රිය දෙපාර්තමේන්තුව ගමන් වාරයක් සඳහා දිනකට වලංගු ඊ ටිකට් පත් මසකට පෙර අන්තර්ජාලයට මුදා හරින බවත් විශේෂ තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් සහ සමාගම් විසින් එම ටිකට්පත් වංචාව සිදු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ සඳහා දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ත්‍රිරෝද රථ ගාල් කරන පුද්ගලයින්ගේ සහාය ලැබෙන බවට තොරතුරු පවතින බවත්, නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා ඉහළ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට නම් පැමිණිල්ලක් සිදුකරන පුද්ගලයා අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බවත් වැඩි මිලට ටිකට්පත් මිලදීගන්නා පුද්ගලයන්ඒ සම්බන්ධයෙන් චෝදනා කරන නමුත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාමේදී සහාය නොදී මගහැරීම බරපතල ගැටලුවක් බවත් මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය.