අතිශය දුර්ලභ නිවුන් අලි උපතක් තායිලන්තයෙන්

අතිශය දුර්ලභ නිවුන් අලි උපතක් තායිලන්තයෙන්

මධ්‍යම තායිලන්තයේ අයුත්තය ඇත් මාලිගාවේ දී ආසියාතික අලියෙකු නිවුන් අලි පැටවුන් බිහි කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අලියාගේ භාරකරුවන් පවසා ඇත්තේ නිවුන් පැටවුන් උපත ලැබීම ආශ්චර්යමත් සිදුවීමක් බවයි.

36 හැවිරිදි චම්චුරි නමැති මෙම ඇතින්න පිරිමි පැටවෙකු බිහිකර තිබෙනවා.

මෙම අලි මව නිවුන් දරුවන් ප්‍රසූත කිරීමට බලාපොරොත්තුවෙන් නොසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇය පිරිමි පැටවෙකු බිහි කළ අවස්ථාවේදී අයුත්‍යා අලි මාලිගාවේ සහ රාජකීය ක්‍රාල්හි කාර්ය මණ්ඩලය සිතා ඇත්තේ ප්‍රසූතිය අවසන් වූ බවයි.

නමුත් පළමු අලි පැටවා පිරිසිදු කර දෙපයින් හිට ගැනීමට උදව් කරමින් සිටි අවස්ථාවේ චම්චුරි අලි මව දෙවන පැටවා බිහිකර තිබෙනවා.

දෙවන පැටවා බිහි කිරීමත් සමඟ කලබල වු අලි මව එම පැටවා පාගා දැමීමට උත්සහ කර තිබෙනවා.

ඇතින්න පාලනය කිරීමට කළ උත්සහයේ දී එක් ඇත්ගොව්වෙකු තුවාල ලබා තිබෙනවා.

ඇතින්න දෙවැනියට බිහිකර ඇත්තේ ගැහැණු පැටවෙක්.

ඒ අනුව උපත ලැබූ නිවුන් පැටවුන් දෙදෙනා මෙන්ම මවද යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි පැවසෙන්නේ.

නිවුන් අලි පැටවුන් බිහි කිරීම කලාතුරකින් සිදුවුවද ගැහැණු , පිරිමි දෙපාර්ශවයේ පැටවුන් බිහි කිරීම අතිශයින් දුර්ලබ බව සේව් ද එලිෆන්ට් සංවිධානය පවසනවා.

තායිලන්ත ජනගහණයෙන් බහුතරයක් බෞද්ධයන් වන අතර එරට අලි ඇතුන් පූජනීය ලෙස සලකනවා.

අලි ඇතුන් එරට ජාතික සංකේතයක් ද වනවා.

 

Share This