විදුලිබල පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කිරීම හෙට

විදුලිබල පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කිරීම හෙට

යෝජිත නව විදුලිබල පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන, පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඊයේ සවස අනුමත කරනු ලැබීය.

ඒ අනුව, එම පනත හෙට (06) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සියලුම සංශෝධන පිළිගැනීමට ආණ්ඩුව එකඟවී ඇති බවත් ආණ්ඩව වෙනත් සංශෝධන කිසිවක් ඉදිරිපත් නොකරන බවත්, කාංචන විජේසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

විදුලිබල පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවට නොගැළපෙන අතර එය සම්මත කළ යුත්තේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් (තුනෙන් දෙකකින්) පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

එම පනතේ 48 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) ව්‍යවස්ථාව සහ එය සමගින් කියවිය යුතු 3 සහ 76 ව්‍යවස්ථාව උල්ලංඝනය වන බැවින් එය පාර්ලිමේන්තු විශේෂ බහුතරයෙන් මෙන්ම ජනමත විචාරණයකින් ජනතාව විසින් ද අනුමත කළ යුතු යැයි නිර්දේශ කර ඇත.

ඒ අනුව විපක්ෂය විසින් සභාවේ ගණපූරණය ඉල්ලා සිටීමට ඉඩ ඇති බැවින් හෙට දින පෙ.ව. 9.30 වනවිට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණ විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළ පාර්ලිමේන්තුවේ රැඳී සිටින ලෙසත්, පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම, කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම සහ රජය මඟින් ඉදිරිපත් කරනු ලබන සංශෝධන සඳහා පක්ෂව ජන්දය ප්‍රකාශ කරන ලෙසත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් ද සිදුකර තිබේ.

මේ අතර විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කිරීමට උපරිම උත්සහ කර එසේ කිරීමට නොහැකි වුවහොත් පනත පරාජය කරන ලෙස ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ හෘදසාක්‍ෂියක් ඇති මන්ත්‍රීවරුන්ගේන් ඉල්ලා සිටින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද (5) පැවසීය.

එම සංගමය කොළඹදී අද (5) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ සහ එහි සම ලේකම් බුද්ධික විජයවර්ධන යන මහත්වරු මෙම ඉල්ලීම සිදු කළේය.

Share This