
පළාත් පාලන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත අද පාර්ලිමේන්තුවට
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත අද පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ, එහි 2 වැනි සහ 3 වැනි වගන්ති පාර්ලිමේන්තු විශේෂ බහුතරයකින් සම්මත කරගැනීම සඳහායි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බව, ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා දැනුම් දුන්නේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය වී තිබුණේ, පනත් කෙටුම්පතේ 2 වැනි සහ 3 වැනි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව සමග අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළයුතු බවයි.
එහි 2 වැනි වගන්තියෙන් 2023 වසරේ මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා කැඳවූ නාමයෝජනා අවලංගු කිරීමට බලය හිමිවෙයි.
පළාත් පාලන ඡන්දය සදහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් තැන්පත් කර ඇති ඇප මුදල් යළි අදාළ පුද්ගලයින් වෙත ලබා දීම ද, එම වගන්තියේ ප්‍රතිපාදනවල ඇතුළත් ය.
තුන් වැනි වගන්තියේ දැක්වෙන්නේ අදාළ ඡන්දය පැවැත්වීම සදහා ආඥා පනතේ විධිවිධාන අනුව පියවර ගැනීම ආරම්භ කළ යුතු බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයට අනුව එම ප්‍රතිපාදන සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍යයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ, එම වගන්ති සඳහා අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් ය.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙන බවයි.