මාලිමාවේ හෙද සමුළුව ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

මාලිමාවේ හෙද සමුළුව ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවති ජාතික සමස්ත ලංකා හෙද සමුළුවට රජයේ හෙද හෙදියන් නිල ඇඳුමින් සහභාගී වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව කැෆේ සංවිධානය පවසයි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකරමින් කැෆේ සංවිධානය පෙන්වා දී ඇත්තේ එම ක්‍රියාව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි.

මහජන බදු මුදල් වැයකර ලබාදෙන නිල ඇඳුම දේශපාලන කාර්යයන් වෙනුවෙන් යොදාගැනීම ආයතන සංග්‍රහය අනූවත් මැතිවරණ නීතිය අනුවත් වැරදි ක්‍රියාවක් බව එම සංවිධානය පෙන්වා දෙයි.

එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ එම ක්‍රියාව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් පවසන්නේ මෙලෙස හෙද හෙදියන් නිල ඇඳුමින් පැමිණ සිටීම පොදු දේපළ පක්ෂ දේශපාලනය සඳහා යොදාගත් අවස්ථාවක් බවයි..

හෙද සේවා වෘත්තීය නිල ඇඳුම මහජන මුදල් වැයකර එම වෘත්තියට ලබාදෙන වරප්‍රසාදයක් බවත්, එවැනි තත්ත්වයක් තුළ එම නිල ඇඳුම දේශපාලන කාර්යයන් සඳහා යොදා ගැනීම ආයතන සංග්‍රහය අනුව සහ මැතිවරණ නීතිය අනුව වැරදි ක්‍රියාවක් බවත් අදාළ ලිපිය මඟින් එම සංවිධානය පෙන්වා දෙනවා.

රටක පුරවැසියන් ලෙස ඕනෑම තැනැත්තකුට සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය හා ඕනෑම දේශපාලන අයිතියක් වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව පැවතියද වෘත්තීය නිල ඇඳුමින් සැරසී එම ක්‍රියාමාර්ගවල නිරතවීම රජයේ සේවකයන් ලෙස නීතිවිරෝධී හා සදාචාර විරෝධී බව ද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.

හෙද හෙදියන් මෙම සමුළුව සඳහා නිල ඇඳුමින් සහභාගිවීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස ද විධායක අධ්‍යක්ෂවරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බවද වාර්තා වෙනවා.