රුසියාවේ ප්‍රභල භූකම්පනයක්

රුසියාවේ ප්‍රභල භූකම්පනයක්

රුසියාවේ ‘කම්චැට්කා’ අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම රික්ටර් පරිමාණයේ ඒකක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව තිබේ.

රුසියාවේ වේලාවෙන් උදෑසන 7 ට පමණ එම භූකම්පනය හටගෙන ඇති අතර ප්‍රබල භූමි කම්පාවෙන් පසු අතුරු භූ කම්පන මාලාවක් ද හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

භූමිකම්පාව කිලෝමීටර් 51 (සැතපුම් 32) පමණ ගැඹුරකින් වාර්තා වී ඇති බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

මෙම භූ කම්පනයත් සමග අමෙරිකානු ජාතික සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය මගින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය සුනාමි තත්ත්වයක් නොවන බවට දැනුම් දී තිබේ.

මෙම කම්පනයෙන් හානියක් හෝ තුවාල පිළිබඳ කිසිදු වාර්තාවක් සිදුව නොමැති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර, භූ කම්පනයත් සමග කම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි ෂිවෙලුච් ගිනි කන්ද විදාරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් අලු සහ දුමාර පිටවෙමින් ඇති බවයි.