දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා සඳහා දොර ඇරෙයි

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා සඳහා දොර ඇරෙයි

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි.

වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබානොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින මෙන්ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ, දකුණු කොරියාවේ E-9 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා හිමිවූ තරුණයින් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකට අද (25) කාර්යාංශයේදී එක්වෙමිනි.

ඉදිරියේදී මෙම රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීමට අවශ්‍යකරන මාර්ගෝපදේශ සකස් කරන බවත්, ඒ අනුව ශ්‍රමිකයින් බඳවාගන්නා ක්‍රමවේදය හා අවශ්‍ය කරන මූලික සුදුසුකම් පිළිබඳව මාධ්‍ය ඔස්සේ රැකියා අපේක්ෂිතයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.