උද්ඝෝෂණය කළාට තේරුමක් නෑ – E8 වීසා වංචාව ගැන කාර්යාංශයෙන් දැනුම් දීමක්
දකුණු කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් විදේශ සේවා කාර්යාංශය ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටින E-8 වීසා ලබාගත් පිරිසට මේ මොහොතේ පිළිතුරක් ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.
E8 වීසා සම්බන්ධයෙන් රට තුළ වැරදි මතයක් ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ දරමින් සිටින බවත්, ප්රශ්නය විසඳාගත හැකි මාර්ගය විරෝධතා කිරීම නොවන බවත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ කෝශල වික්‍රමසිංහ මහතා,
“දැන් උත්තරයක් දෙන්න ඇත්තටම බෑ. ඉදිරි සාකච්ඡා මෙහෙයවමු ඉක්මනින්ම ක්‍රමවේදයක් හදන්න. එයාලගේ යෝජනාත් අපි එකතු කරන්නම්.
පැහැදිලිවම කියනවා ඔතන හිටියට උත්තරයක් හම්බවෙන්නේ නෑ. ප්රශ්නය විසඳාගන්න පුළුවන් මාර්ගය නෙමෙයි ඕක.
අනීතික කණ්ඩායම් වලට ගත්ත සල්ලි වලට අපි ඉස්සරහදී නීතිමය ක්‍රියාමාර්ගවලට යනවා. සල්ලි ගත්ත අයට ඒ සල්ලි දෙන්න වෙනවා ඒ ළමයින්ට.
ඒ කණ්ඩායම් කරන පෙළඹවීම් වලට අහුවෙන්න එපා. සරලව කියන්නේ ඒකයි. අපි මේක නීතියානුකූල තැනකට ගේන්න අවශ්‍ය සාකච්ඡා මෙහෙයවනවා.
අපිට මේක සලකා බලන්න පුළුවන්. මේක කිසිම අවස්ථාවක ආණ්ඩුව මේක නොසලකා හරිනවා කියලා ගන්න නරකයි.
අපි දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ නෑ. නීතියානුකූල නොවන හොර කණ්ඩායම් වීසා නිකුත් කරලා රටේ ළමයින්ව රට පටවලා සල්ලි හොයන එක නෙමෙයි අපි කරන්න ඕනේ. හරි මඟට අරන් රටේ මානව සම්පත දියුණු කරන්න පුළුවන් ක්‍රමයට සිදුකරන්න.
මේ වසර පුරාවට 285,000කට ආසන්න ප්‍රමාණයක් විදෙස්ගත කරලා තියෙනවා. අනික් අය යනවා නේ නීතියානුකූලව. මේ 100 මොකද්ද. මේ 100 කියන්නේ පොඩි කණ්ඩායමක්. මේ අයට යන්න දෙන එක ලොකු ගැටලුවකුත් නෙමෙයි.
නමුත් අනීතිකව යවන්න එපා. අනතුරක් වුණා, රක්ෂණාවරණයක් නෑ, කොහොමටවත් කැබිනට් පේපර් එකක් නැතුව හොර පාරෙන් ගියපු වීසා එකකට රටේ නීතියට අනුගත කරන්න බෑ. අපිට අලුතින් පටන් ගන්න තමා තියෙන්නේ.”
දකුණු කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් E-8 වීසා ලබාගත් පිරිසක් අදත් බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට රැස්වී විරෝධතාවයක නිරත වී සිටියි.
එම පිරිස පවසන්නේ තම ප්‍රශ්නයට බලධාරීන්ගෙන් නිසි පිළිතුරක් ලැබෙන තුරු තම උද්ඝෝෂණය අත් නොහරින බවයි.
දකුණු කොරියානු E-8 වීසා යනු එරට විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්රයේ කෙටිකාලීන රැකියා සඳහා නිකුත්කරන වීසා බලපත්‍රයකි. එහි වලංගු කාලය මාස 6 පමණ වෙයි.
ගැටලුවට මුහුණ දී ඇති පිරිස පවසන්නේ එම වීසා හෙට (26) වනවිට අවලංගු වන බවයි.
ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසුවේ, “මාසයක් වැනි කාලසීමාවක් තුළ අපි සාකච්ඡාව දුන්නා. පැහැදිලි කිරීම් කිහිපයක්ම කළා. මේ විසා එක ඉෂූ කිරීම හරහා මතුවෙලා තිබෙන ප්රශ්නය. නමුත් අපේ පැහැදිලි කිරීම් වලට අනුගත නොවී ඔවුන් වෙනත් අදහසක් මතුකරමින් ඉන්නවා.” යනුවෙනි.
ප්රශ්නය: මේක වංචාවක්, ඒගොල්ලෝ ඔවුන්ට අහුවෙලා කියමින් ඔවුන්ව වින්දිතයෝ කළාට..මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නෑනේ…?
“විසඳුමක් දෙන්න පුළුවන් විදිය ඇතිවෙන්නේ ඉදිරියට. මොකද අපි උත්සාහ කළේ මේකේ තියෙන තත්ත්වය study කරගන්න.
අපේ ප්‍රධානම ඉලක්කය රැකියා ප්‍රවර්ධනය. ඒ නිසා රැකියාවලට යන එක වළක්වන්න අපිට කිසිම වුවමනාවක් නැහැ.”
ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශය පවසන්නේ කොරියාවේ රැකියා සඳහා මෙතෙක් ක්‍රියාත්මක වන්නේ EPS සහ E-7 යන වීසා ක්‍රමවේද බවය.
එහෙත් ඊ-8 සඳහා මෙතෙක් නිසි අවසරයක් ලබාගෙන නොමැති බව එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සාමාන්‍යධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා පැවසීය.