ව්‍යාජ ලේඛන මගින් බාල බෙහෙත් ගෙන්න අනුමැතිය දුන් රජයේ නිලධාරීන් 2කට හා සමාගමේ හිමිකරුට විදෙස් ගමන් තහනමක්

ව්‍යාජ ලේඛන මගින් බාල බෙහෙත් ගෙන්න අනුමැතිය දුන් රජයේ නිලධාරීන් 2කට හා සමාගමේ හිමිකරුට විදෙස් ගමන් තහනමක්

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500ක තොගයක් මෙරටට ගෙන්වීමට අනුමැතිය දුන් රජයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුගේ සහ අදාළ සමාගමේ හිමිකරුගේ විදෙස් ගමන් තහනම් කර තිබෙනවා.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ අදාළ සැකකරුවන් රට හැර යාමට සූදානමක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මඟින් කරුණු දැක්වීමෙන් පසුවයි.

ඒ අනුව, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර හා අදාළ ඖෂධ මෙරටට ගෙන්වන ලද සමාගමේ අධ්‍යක්ෂ ජානක ප්‍රනාන්දු හෙවත් ‘අරුණ දීප්ති’ යන අයට එරෙහිවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අදාළ ඖෂධ සමාගම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ක්‍රියාත්මක කෙරෙන අතර මෙහිදී රුපියල් මිලියන 130කට අධික මුදල් වංචාවක් සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, පරීක්ෂණ කටයුතු අවසන් කරන තෙක් මෙම වාරණය පනවන ලෙසයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධතිය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පත්කළ අනුකාරක සභාව මොරටුව විශ්වවිද්‍යාලයට උපදෙස් ලබාදී තිබේ.

Share This