මියගිය ඩොල්ෆින් මසුන්ගේ සිරුරු 11ක් විල්පත්තු මුහුදු තීරයේ

මියගිය ඩොල්ෆින් මසුන්ගේ සිරුරු 11ක් විල්පත්තු මුහුදු තීරයේ

විල්පත්තු ජාතික වනෝද්‍යාන මුහුදු තීරයේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ මියගොස් සිටිය දී සොයා ගනු ලැබූ ඩොල්ෆින් මත්ස්‍යයන්ගෙන් ලබා ගත් ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමු කර ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශයේ ඩොල්ෆින්මත්ස්‍යයන් 11 දෙනෙකු මිය ගොස් සිටිය දී මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පසුගියදා සොයා ගෙන තිබූ අතර, ඒ පිළිබඳව ඊයේ (07) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට වනජීවි නිලධාරීන් පියවර ගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව කියයි.

මෙම සතුන්ගේ මරණ පරීක්ෂණය අනුරාධපුර වනජීවි පශු වෛද්‍ය කාර්යාලයේ චන්දන ජයසිංහ මහතා සහ ඩබ්ලිව්. එල්. යූ. මධුවන්ති මහත්මිය යන වනජීවි පශු වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද බවත්, එම සතුන් දැලක පැටලීම හේතුවෙන් මරණයට පත්ව ඇති බවට අනුමාන කරනු ලබන බවට නිර්දේශ කොට ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එය වැඩිදුරටත් සනාථ කර ගැනීම සඳහා මියගොස් සිටි සතුන්ගෙන් ලබා ගත් නිදර්ශක පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමු කිරීමට පියවර ගත් බවත්, එහි වාර්තාව ඉදිරියේ දී ලැබීමට නියමිතව ඇති බවත් වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.