දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම හෙට

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම හෙට

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන හේතුව හෙට (01) ප්‍රකාශ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31) තීරණය කළාය.

මරණකරුගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම සඳහා පත්කර තිබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවේ අවසන් වාර්තාව අද (31) එම වෛද්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම තීරණය ප්‍රකාශ කළාය.

ඒ අනුව, දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව හෙට (01) ලබාදීමට නියමිතව ඇත.

මියගිය අයගේ ඥාතීන් වෙනුවෙන් මෝසමක් අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණයෙන් අයැද තිබුණේ මෙම විශේෂඥ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තම නීතිඥවරුන්ට කරුණු දැක්වීමට අවසර දෙන ලෙසය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මරණ පරීක්ෂණයේ දී සිදුවන්නේ යම් පුද්ගලයෙකු මරණයට හේතු වූ දූෂ්‍යමාන හේතුව අනාවරණය කරගැනීම පමණක් බව සඳහන් කළාය.

එවැනි පරීක්ෂණයකදී බාහිර පාර්ශවයන්ට කරුණු දැක්විය හැකි බවට කිසිදු ප්‍රතිපාදනයක් නීතිය තුළ දක්නට නොමැති බව සඳහන් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය ඒ අනුව ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් පැවසුවාය.

ඒ අනුව, මේ වන විට කරාපිටිය රෝහලේ රඳවා තිබෙන මියගිය ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය ඔහුගේ ඥාතීන් වෙත භාරදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෘත ශරීරය ජාවත්ත සුසාන භූමියේ භූමිදානය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මෙහිදී විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත සිය ස්තූතිය පළ කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය විශ්වවිද්‍යාල රාජකාරි මධ්‍යයේ අධිකරණ නියෝග මත මෙම විමර්ශනයට සහාය වීම සම්බන්ධයෙන් තම කෘතඥතාවය පුද කරන බවත් සඳහන් කර සිටියාය.

Share This