දිඹුලාගල කැණීම් කිරීමට පැමිණි නිලධාරින්ට ආර්.පී.ජී. හමුවෙලා

දිඹුලාගල කැණීම් කිරීමට පැමිණි නිලධාරින්ට ආර්.පී.ජී. හමුවෙලා

දිඹුලාගල, ඓතිහාසික කන්දේගම ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් කටයුතු සම්බන්ධ නිලධාරින් පිරිසකට එම ප්‍රදේශයේ තිබී ආර්.පී.ජී. මෝටාර් උණ්ඩයක් ඊයේ (22) හමුවී ඇති බව අරලගංවිල පොලිසිය පවසයි.

පොලොන්නරුව පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලයේ සංවර්ධන ගවේෂණ අංශයේ නාහිමියන් වන පූජ්‍ය කැප්පෙටිපොළ ජිනසිරි හිමියන් ඇතුළු සිව්දෙනකු ඓතිහාසික කන්දේගම ධනංජය රජමහා විහාරස්ථානයට ආසන්නයේ පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට පැමිණි අවස්ථාවේදී මෙම ආර්.පී.ජී. මෝටාර් උණ්ඩය ගල් දෙබොක්කාවක තිබී හමුවී ඇති බව ඒ පිළිබඳ පරීක්‍ෂණ කරන අරලගංවිල පොලිසිය සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ යුද වකවානුව තුළ එම මෝටාර් උණ්ඩය සඟවා තබන්නට ඇති බවට අරලගංවිල පොලිසිය සැක කරයි.

මේ පිළිබඳව පූජ්‍ය කැප්පෙටිපොළ ජිනසිරි නාහිමියන් ඇතුළු පිරිස අරලගංවිල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම මෝටාර් උණ්ඩය තිබූ ස්ථානය සොයාගත් අතර, ඒ පිළිබඳ පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (22) කරුණු වාර්තා කිරීමෙන් පසු නිෂ්ක්‍රිය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතා සඳහන් කළේය.