ඉතාලි මෝටර් රථ ධාවන තරගය ජයගෙන ඩිලන්ත දිවයිනට

ඉතාලි මෝටර් රථ ධාවන තරගය ජයගෙන ඩිලන්ත දිවයිනට

ලෝක ශූර, ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව අද (22) අලුයම දිවයිනට පැමිණියේය.

ඔහු අද (22) අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඩිලන්ත පිළිගැනීම සදහා ඔහුගේ මිතුරන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඩිලන්ත මාළගමුව මහතා මෙසේ පැවසීය.

“මෙම තරගාවලිය සදහා සහභාගී වූ එකම ශ්‍රී ලාංකිකයා මෙන්ම එකම ආසියාතිකයා ද වූයේ මමයි. මෙම තරගාවලිය යුරෝපයේ පවත්වන ලොකුම මෝටර් රථ ධාවන තරගය වන අතර ඒ සදහා ලෝකයේ රටවල් 30 ක මෝටර් රථ ධාවන ශූරයින් එක් වී සිටියා. ඔවුන් වැඩිපිරිසක් යුරෝපා සහ ඇමෙරිකානු මහාද්වීප නියෝජනය කරන්නන්.

මෙම මෝටර් රථ තරගය සදහා කාර් 50 ක් ධාවනයට එක්කර තිබූ අතර එම එක් රථයක් සදහා රියැදුරුවරුන් දෙදෙනා බැගින් එක් වී සිටියා

ඒ වගේම, මෙම තරගාවලිය සදහා ලෝකයේ වඩාත් බලවත්, දියුණු මෝටර් රථ වර්ග 10 ක මෝටර් රථ ධාවනයට එක් වී සිටි අතර මම ඒ.එම්.ජී.- ජී.ටී. 4 වර්ගයේ මෝටර් රථයක් භාවිතා කළා”. යැයි ද පැවසීය.

2024 වසර අවසානයේ මෙම ලෝක ශූරතා තරගාවලියේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිත අතර මේ සදහා තවත් මෝටර් රථ ධාවන තරග 12 ක් ඉතිරි වී ඇති බව ද ඩිලන්ත මාළගමුව මහතා පැවසීය.

එසේම ඉදිරි මාසයේ තවත් මෝටර් රථ තරග 04 ක් පැවැත්වීමට නියමිතව ඇති බව ද හෙතෙම පැවසූ අතර මෙම ශූරතා තරගාවලිය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒම තම එකම අපේක්ෂාව බව ද ඩිලන්ත මාළගමුව මහතා වැඩිදුරටත් පැවසීය.

Share This