දීඝදන්තු බලන්න ආපු අය වල්ගයට වැඩේ දීලා – දළ සහිත හිස කොටස සංරක්ෂණයට පියවර
ගල්කිරියාගම, හිඟුරුවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මියගිය දීඝදන්තු 01 හස්තියාගේ දළ යුගළය සහ හිස කොටස සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ.
ඒ, අනුව එම හස්තියාගේ හිස කඳෙන් වෙන්කර ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙනයාමට වනජීවී නිලධාරීන් ඉකුත් දා (29) රාත්‍රියේ කටයුතු කර තිබුණි.
මේ අතර, දීඝදන්තු 01 හස්තියාගේ මරණය සම්බන්ධයෙන් ඉකුත් දා (29) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම සත්වයාගේ උදරයේ තිබී රුපියල් 10 කාසියක් සොයාගැනීමට මරණ පරීක්ෂණය සිදු කළ නිලධාරීන්ට හැකිව තිබේ.
මෙම සත්ත්වයාගේ මරණය විදුලි සැර වැදීමක් හේතුවෙන් සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් තහවුරු වූ බව අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සඳහන් කළේය.
මේ අතර දීඝදන්තු හස්තියා මියගිය බව දැනගත් මොහොතේ පටන් එම ස්ථානයට එම සත්ත්වයාගේ දේහය නැරඹීමට පැමිණි පිරිස මිථ්‍යා මත වල එල්බ සිටීම නිසා මියැදුණු දීඝගේ වල්ගයේ කෙඳි සියල්ලම ගලවාගෙන යාමට කටයුතු කර තිබුණි.
මෙවැනි අකාරුණික කටයුතු කිරීමෙන් වළකින ලෙසට ද වනජීවි නිළධාරීහූ ජනතාවගෙන් ඉල්ලා සිටිති.