නුවරඑලිය DIG ගේ පුද්ගලික සහකාර නිලධාරියා DIG ගේ නම විකුණා හෝටල් වලින් බලෙන් කාලා – video

නුවරඑලිය DIG ගේ පුද්ගලික සහකාර නිලධාරියා DIG ගේ නම විකුණා හෝටල් වලින් බලෙන් කාලා – video

නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර නිලධාරි වශයෙන් රාජකාරි කරන පොලිස් පරික්ෂක මදුසංක අලවල ඊයේ (03) අලුයම 2.30 ට පමණ ජීප් රථයකින් නුවරඑලිය නගරයේ ආපනශාලාවක් වෙත පැමිණි අසත්‍ය චෝදනා නගමින් එම ආපනශාලාවේ හිමිකරුට සහ සේවකයන්ට පහර දී තිබේ.

නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු යටතේ පුද්ගලික සහකාර නිලධාරිවරයා වශයෙන් රාජකාරි කර ඇති පොලිස් පරික්ෂකවරයා අධික ලෙස මත්පැන් පානය කරමින් නුවරඑලිය නගරයේ පිහිටි සංචාරක හෝටල් සහ ආපනශාලා වෙත ගොස් තමන් ඩි.අයි.ජි ගේ පුද්ගලික සහකාරවරයා වශයෙන් හදුන්වා ලබා ගන්නා ආහාර පාන ඇතුළු භාණ්ඩ වලට මුදල් නොගෙවා යන බවයි, නුවරඑලිය නගරයේ ආපනශාලා ඇතුළු වෙලදසැල් හිමිකරුවන් කියා සිටියේ.

නුවරඑලිය මුස්ලිම් පල්ලිය අසල දිවා රාත්‍රියේ විවෘත පවතින ආපන ශාලාවක් වෙත සිද්ධිය වූ දිනයට ප්‍රථම පැමිණි පොලිස් පරීක්ෂකවරයා මත්පැන් බෝතලයක් ලබාදෙන ලෙසට ඉල්ලිමක් කර තිබේ.

එය ලබාදීම ආපනශාලා හිමියා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා උරණ වූ පොලිස් පරික්ෂකවරයා ඊයේ අලුයම එම ආපනශාලාව වෙත පැමිණ “උඹ සිංහල මිනිස්සුන්ව වද කරන්න කෑම වලට වද බෙහෙත් දාලා කෑම දෙනවා, උඹ ආරාබියේ විකුණන අපේ ගැහැණු වඳ කරන කෑම වර්ග ගෙනල්ලා විකුණනවා, තොගේ කඩේ වහන්න ඕනි, විකුණන්න තියෙන කෑම තෝ කාපිය ඉස්සෙල්ලා” යනුවෙන් අසභ්‍ය වචනයෙන් බැනවැදී ආපනශාලාවේ හිමිකරුට සහ සේවකයන්ට පහර දී ආපනශාලා හිමියාට ආපනශාලාවේ අලෙවි කිරිමට පිලියෙල කර තිබු ආහාර අනුභව කරන ලෙසට බලපැම් කිරීම හේතුවෙන් ආපනශාලා හිමියා විසින් ආහාර අනුභව කර ඇත.

අද (04) දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් යොදවා වැටලීමක් සිදු කර ආපනශාලාව වසා දමන බවට තර්ජනය කර එම ආපනශාලාවේ සේවකයෙකුට “තෝ ඇයි මේ තම්බියෙක් ළග වැඩ කරන්නේ? පලයන් සිංහල එකෙක් ගාවට” යනුවෙන් පරුෂ වචනයෙන් බැන වැද තිබේ.

අප මේ සම්බන්ධයෙන් එම ආපනශාලාවේ හිමිකරුගෙන් කරුණු විමසා සිටියදී ඔහු කියා සිටියේ, මෙම පොලිස් නිලධාරීවරයා ඩි.අයි.ජි ගේ පී.ඒ යනුවෙන් හදුන්වාදෙමින් කාලයක් තිස්සේ තම වෙලදසැලට පැමිණ තමන්ට මෙසේ හිරිහැර කරන බවයි.

ඔහු පොලිස් නිලධාරියෙකු නිසා පොලිසිය මගින් තමන්ට සාධාරණයක් ඉටු නොවන බවට සැක සිතීම නිසා එම පොලිස් නිලධාරියා තම ආපනශාලාවට පැමිණ සිදු කල පහර දිම සහ බලපැම් කරන අයුරු ආපනශාලාවේ ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබු දර්ශන සහ තමන් ජංගම දුරකථනයෙන් පටිගත කල හඩපට මාධ්‍යට ලබාදෙන්නේ තමන්ට සාධාරණයක් ඉටු වේ යැයි කියන බලාපොරොත්තුවෙන් බවයි ආපනශාලා හිමියා වැඩිදුරටත් කියා සිටියේ.