
දේශබන්දුගේ රිට් පෙත්සමේ තීන්දුව අද
වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ අභියාචනාධිකරණ නියෝගය අද (17) ප්‍රකාශ කිරීමට නියමිතය.
මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් පෙබරවාරි මස 27 වැනිදා නිකුත් කළ එම නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය සහ වග උත්තරකාර පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ප්‍රකාශ කෙරේ.
අභියාචනාධිකරණ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එම කරුණු සලකා බැලීම ඉකුත් 12 වැනිදා අවසන් කෙරිණ.
දේශබන්දු තෙන්නකෝන් මහතා, අභියාචනාධිකරණය හමුවේ එම රීට් පෙත්සම ගොනු කළේ, පසුගිය 10 වැනිදා ය.
තමන්ගෙන් ප්‍රකාශයක්වත් සටහන් කර ගැනීමට පෙර අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීති විරෝධී මෙන්ම අසාධාරණ වන බැවින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, එහි වත්මන් අධ්යක්ෂ පී. අම්පාවිල ඇතුළු දහ හතර දෙනකු නම් කර සිටියි.