
අනාරක්ෂිත ළිඳකට වැටී මාමා සහ සිඟිත්තෙක් මරුට
යාපනය, සංගරත්තෙයි ප්‍රදේශයේ පිහිටි තීක්කිරායි වැව ආසන්නයේ තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු 03ක දරුවෙකු සහ එම දරුවාගේ මාමා වූ 30 හැවිරිදි පුද්ගයෙක් ඊයේ (17) පස්වරුවේ මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පවසයි.
වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පැවසූවේ මුලතිව්, රෙඩ්බානා ප්‍රදේශයේ පදිංචි දරුවා සිය මව සමඟ මවගේ මහ ගෙදර පැමිණ ඇති අවස්ථාවේ දරුවා මාමා සමඟ වැව බැලීමට ගොස් ඇති බවයි.
එහිදි දරුවා සහ මාමා වැව ආසන්නයේ තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී ඇති අතර, දරුවා ජලයේ පාවෙනු දැක ප්‍රදේශවාසීන් වහාම දරුවා ඉන් ගොඩගෙන යාපනය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.
කෙසේ වෙතත් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුරුව ළිඳ පරීක්ෂා කිරීමේ දී දරුවාගේ මාමාගේ මළ සිරුර ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.
ඔවුන් දෙදෙනාගේ ඇඳුම් සහ සෙරෙප්පු ළිඳට මදක් ඔබ්බෙන් ගලවා දමා තිබියදී හමු වී ඇති අතර, වඩුක්කෝඩෙයි පොලිසිය සැක කරන්නේ ඔවුන් දෙදෙනා නෑදෑ නිවසට යමින් සිටින අතරවාරයේ දිය නෑමට උත්සහ කිරීමේදී දෙදෙනාම ළිඳට වැටෙන්නට ඇති බවයි.
මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකොඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා