ජාතික ක්‍රිකට් දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරේ වෙනසක්

ජාතික ක්‍රිකට් දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරේ වෙනසක්

ජාතික ක්‍රිකට් දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභි වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත්ගේ අයැදුම්පත ප්‍රතික්ෂේප වෙමින් ඒ සඳහා, පළමු පෙළ තරග 16ක් පමණක් ක්‍රීඩා කර ඇති ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රේග් හොවාඩ් නම්ව ඇතැයි ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

රංගන හේරත් ටෙස්ට් තරග 93කදී කඩුලු 433ක් සහ එක්දින තරග 71කදී කඩුලු 74ක් දවාගැනීමට සමත්වූවකු මෙන්ම පසුව පුහුණුකරුවෙක් ලෙසින් අදියර 2 සහ 3 හදාරා ඇති මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙසින් කැපීපෙනෙන ජයග්‍රහණ ලබාදීමට දායක වූවෙක් වන අතර 49 හැවිරිදි ක්‍රේග් හොවාර්ඩ් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් අදාළ තරග 16දී කඩුලු 42ක් දවාගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, ඉහළ කාර්ය සාධන කමිටු ප්‍රධානී ටිම් මැක්කාස්කිල්, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ පුහුණු උපදේශක මහේල ජයවර්ධනගෙන් සමන්විත කමිටුවක් විසින් අදාළ තනතුර සඳහා වන සම්මුඛ පරීක්ෂණය පවත්වා ඇතැයි සැලවේ.

මෙහිදී රංගන හේරත් විසින් යොමු කළ අයැදුම්පත් ප්‍රතික්ෂේප වීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ ඔහු විසින් සෙසු අයැදුම්කරුවන්ට සාපේක්ෂව ඉහළ වැටුපක් ඉල්ලා සිටීම වන්නට ඉඩ ඇති අතර ක්‍රේග් හොවාඩ් තෝරාගෙන ඇත්තේ, ඉන්දියානු උප මහද්වීපයෙන් එපිට කලාපයේදී වුව (දඟපන්දු යවන්නන් හට විශේෂ උපකාරයක් නොවන තණතිලිවල ) කඩුලු ලබාගැනීම සලකා විය හැකිය.

ක්‍රේග් හොවාඩ්ට අදාළ තනතුර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 12,000ක මූලික වැටුපක් සමග සමස්තයක් ලෙසින් ඇමරිකානු ඩොලර් 15,000ක පමණ පැකේජයක් හිමිවනු ඇත.

Share This