රුපියල් මිලියන 75ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රේගු අත්අඩංගුවට

රුපියල් මිලියන 75ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රේගු අත්අඩංගුවට

කටුනායක ගුවන් බඩු ගම්මානයේ ෆිට්ස් එයාර් කූරියර් සේවය හරහා නිදහස් කරන ලද පාර්සලයක තිබී කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139 ක් රේගු නිවාරණ අංශයේ කටුනායක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළොම්බියාවේ බොගොටා නගරයේ සිට ගණේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබූ මෙම පාර්සලයේ අඩංගුව තිබූ විදුලි උපකරනයක සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සැක පිට මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හා 24 වන පුද්ගලයන් දෙදෙනෙකු හා භාණ්ඩ නිශ්කාශණ නියෝජිතයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75කට තක්සේරු කර තිබෙන බව රේගුව පවසයි.

වැඩිදුර විමර්ශන සඳහා එම මත්ද්‍රව්‍ය හා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශය වෙත භාරදීමට නියමිතයි.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් – රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ, මෙම මත්ද්‍රව්‍ය තොගය සහ අත් අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සිදු කරනු ලබන බවයි.